ශුද්ධවර මතෙව් 5:1-12

ශුද්ධවර මතෙව් 5:1-12 SNRV

ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ. එවිට උන් වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළ සේක: “සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු සැනසීම ලබන්නෝ ය. මොළොක් ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දේශය උරුම කර ගන්නෝ ය. ධර්මිෂ්ඨකම උදෙසා සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු තෘප්තිමත් වන්නෝ ය; දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දයාව ලබන්නෝ ය. නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය. ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය; මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට, නානා විධ අසත්‍ය චෝදනා නඟන කල ඔබ භාග්‍යවන්තයෝ ය; ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ.”