ශුද්ධවර මතෙව් 4:1-10

ශුද්ධවර මතෙව් 4:1-10 SNRV

එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක. දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය. එවිට පරීක්ෂාකාරයා උන් වහන්සේ වෙත අවුත්, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි, පාන් ගෙඩි වන්න අණ කළ මැනවැ”යි කී ය. උන් වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක. එවිට යක්ෂයා උන් වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, පහතට පනින්න; ‘උන් වහන්සේ සිය දූතයන්ට ඔබ ගැන අණ දෙනු ඇත. ඔබේ පය කිසිසේත් ගලක නොවදින පිණිස, ඔව්හු සිය අත්වලින් ඔබ උසුලනු ඇතැ’යි ලියා තිබේ ය”යි උන් වහන්සේට කී ය. ජේසුස් වහන්සේ ද කතා කොට, “ ‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න’ කියාත් ලියා ඇතැ”යි වදාළ සේක. යළිත් යක්ෂයා උන් වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රට රාජ්‍යයන් සහ ඒවායේ යසශ්‍රිය උන් වහන්සේට පෙන්වා, “ඔබ දණින් වැටී මට නමස්කාර කරන්නෙහි නම්, මේ සියල්ල ඔබට දෙන්නෙමි”යි උන් වහන්සේට කී ය. එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්, “සාතන් පලා යව! ‘නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.

ශුද්ධවර මතෙව් 4:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය