උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ පසු, ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් දාදු දමා බෙදාගත්හ. ඔව්හු එහි හිඳගෙන උන් වහන්සේ මුර කළහ. තවද, “මොහු ජුදෙව්වරුන්ගේ රජ වන ජේසුස් ය” කියා උන් වහන්සේ පිළිබඳ චෝදනා පත්‍රය ලියා උන් වහන්සේගේ හිසට ඉහළින් තැබූ හ.
එවිට සොරු දෙදෙනෙක්, එක් කෙනෙක් දකුණු පසෙහි ද එක් කෙනෙක් වම් පසෙහි ද උන් වහන්සේ හා සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ හ. මඟ යන්නෝ තමන් හිස් වන වනා උන් වහන්සේට නින්දා කරමින්, “දේව මාලිගාව කඩාදමා තුන් දවසකින් එය ගොඩනඟන ඔබ, ඔබ ම ගළවාගන්න; ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, කුරුසියෙන් බැස එන්නැ”යි කී හ. එම අයුරින් නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් සමඟ උන් වහන්සේට කවටකම් කොට, “මොහු අනුන් ගැළෙව්වේ ය; දැන් තමාට ම ගැළවෙන්ට නුපුළුවන; මොහු ඉශ්රායෙල්වරුන්ගේ රජ නොවේ ද? එසේ නම් දැන් කුරුසියෙන් බසී වා, එවිට අපි මොහු විශ්වාස කරන්නෙමු. මොහු දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ ය; උන් වහන්සේ ඔහුට කැමැති සේක් නම් දැන් ඔහු මුදා හරින සේක් වා. මන්ද, ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වෙමි’යි මොහු කීවේ ය”යි කී හ. උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ සොරු ද එසේ ම උන් වහන්සේට නින්දා කළහ.
මද්දහනේ සිට අපරභාග තුන දක්වා රට පුරා තද අන්ධකාරයක් පහළ විය. තුනට පමණ ජේසුස් වහන්සේ, “ඒලී, ඒලී, ලාමා සබක්තානී” කියා මහහඬින් මොරගැසූ හ. එහි අර්ථය “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසා ද” යනු යි. එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා, “මොහු එලියා අමතන්නේ ය”යි කී හ. එකෙණෙහි ම ඔවුන්ගෙන් එක් කෙනෙකු දිව ගොස්, මූදු හත්තක්ගෙන ඇඹුල් මිදියුසවල පොඟවා බට දණ්ඩක ගසා, උන් වහන්සේට බොන්න දුන්නේ ය. සෙස්සෝ කතා කොට, “නිකම් ඉන්න, මොහු ගළවන්ට එලියා එන්නේ දැ යි බලමු”යි කී හ. ජේසුස් වහන්සේ යළිත් මහහඬින් හඬගා අවසන් හුස්ම හෙළූ සේක. දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි; සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ. උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළු ව, බොහෝ දෙනෙකුට පෙනුණාහ. ශතාධිපතියා ද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අය ද පොළෝකම්පාවත්, සිදු වූ දේත් දැක ඉතා බියපත් ව, “සැබැවින් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි කී හ. ගලීලයේ සිට උන් වහන්සේ කැටුව අවුත්, උන් වහන්සේට ආවතේව කළ බොහෝ කාන්තාවෝ ද එහි දුරින් සිට බලා සිටියහ. මග්දලායේ මරියා ද ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ මව වූ මරියා ද සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද ඔවුන් අතර වූ හ.
සවස් වූ කල ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු ව සිටි ජෝසෙප් නම් ධනවත් මනුෂ්‍යයෙක් අරිමාතියේ සිට අවුත්, පිලාත් වෙත ගොස්, උන් වහන්සේගේ මෘත ශරීරය ඉල්ලී ය. එවිට පිලාත් එය භාර දෙන්න අණ කෙළේ ය. ජෝසෙප් ඒ මෘත ශරීරය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා, පර්වතයෙහි කප්පා තිබුණු තමාගේ ම අලුත් සොහොන් ගැබෙහි තබා, එහි දොරකඩට විශාල ගලක් පෙරළා තබා යන්න ගියේ ය. මග්දලායේ මරියා ද අනික් මරියා ද එතැන සොහොන් ගෙය ඉදිරියෙහි හිඳගෙන උන්හ.
පසු දා එනම් සිකුරාදාට පසු දා, නායක පූජකවරු ද පරිසිවරු ද පිලාත් වෙත රැස් ව, “ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත් ව සිටිය දී, ‘මම තුන් දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි’යි කී බව අපට මතක ය. එහෙයින් තුන් වන දවස දක්වා සොහොන් ගෙය ආරක්ෂා කරන්න අණ දුන මැනවි. නැතහොත්, සමහර විට ඔහුගේ ශ්‍රාවකයන් අවුත් ඔහු සොරාගෙන ගොස්, ‘ඔහු මරණින් උත්ථාන වී ය’යි සෙනඟට කියනු ඇත. මෙසේ අවසාන වංචාව මුල් වංචාවට වඩා මහත්වන්නේ ය”යි කී හ. “වුවමනා නම්, මුර කණ්ඩායමක් රැගෙන ගොස් සොහොන හැකි පමණ සුරක්ෂිත කොට තබන්නැ”යි පිලාත් ඔවුන්ට කී ය. ඔව්හු ගොස් සොහොන් ගල පිට මුද්‍රාව තබා, මුර කණ්ඩායම එහි සිටුවා, සොහොන් ගෙය සුරක්ෂිත කළහ.