ශුද්ධවර මතෙව් 27:11-31
ශුද්ධවර මතෙව් 27:11-31 SNRV
ජේසුස් වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියෙහි පෙනී සිටි සේක. “ඔබ ජුදෙව්වන්ගේ රජ දැ”යි ඔහු උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. “එසේ කියන්නේ ඔබ ය”යි ජේසුස් වහන්සේ උත්තර දුන් සේක. නායක පූජකවරුන් ද ප්‍රජා මූලිකයන් ද උන් වහන්සේට වරද තැබූ විට, උන් වහන්සේ කිසි උත්තරයක් නුදුන් සේක. එවිට පිලාත්, “මොවුන් ඔබට විරුද්ධ ව නඟන චෝදනා ඇසෙන්නේ නැද්දැ”යි ඇසී ය. එහෙත්, ජේසුස් වහන්සේ එක වචනයකින් පමණ වත් උත්තර නුදුන් සේක. එබැවින් ආණ්ඩුකාරයා අතිශයින් මවිත විය. මංගල්‍යයේ දී ජනතාව ඉල්ලා සිටින සිරකරුවෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස් කර හරිනු ලැබීමේ සිරිතක් තිබිණි. එකල්හි ජේසුස් බරබ්බස් යයි නම් දැරූ ප්‍රසිද්ධ සිරකරුවෙක් විය. එහෙයින් සෙනඟ රැස් වූ විට, “මා ඔබට කවරෙකු නිදහස් කර දෙනවාට ඔබ කැමැති ද? බරබ්බස් කියන ජේසුස් ද? නැතහොත් ක්‍රිස්තුස් කියන ජේසුස් දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. එසේ ඇසුවේ, ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන් වහන්සේ පාවා දුන් බව පිලාත් දැන සිටි හෙයිනි. තවද, ඔහු විනිශ්චයාසනයෙහි සිටිය දී, ඔහුගේ භාර්යාව, “ඒ නිදොස් මනුෂ්‍යයාට කිසිවක් නොකරන්න. ඊයේ රෑ ඔහු නිසා මම සිහිනයකින් බොහෝ දුක් වින්දෙමි”යි පිලාත්ට කියා යැවුවා ය. එහෙත්, නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද බරබ්බස් ම ඉල්ලන්ටත්, ජේසුස් වහන්සේ නසාලන්ටත් ජනකාය කැමැති කරවාගත්හ. ආණ්ඩුකාරයා ඔවුන්ට උත්තර දෙමින්, “මේ දෙදෙනාගෙන් කවරෙකු මා ඔබට නිදහස් කර දෙනවාට කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. “බරබ්බස්” යයි ඔව්හු කී හ. “එසේ නම් ක්‍රිස්තුස් ය කියන ජේසුස්ට මා කුමක් කරන්න දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. “ඔහු කුරුසියේ ඇණ ගසන්නැ”යි සියල්ලෝ ම එක හඬින් කී හ. එවිට ඔහු, “මන් ද? මොහු මොන අපරාධයක් කෙළේ දැ”යි ඇසී ය. එහෙත්, “ඔහු කුරුසියෙහි ඇණ ගසන්නැ”යි ඔව්හු වැඩි වැඩියෙන් හඬ නඟමින් මොරගැසූ හ. මෙසේ කෝලාහලයක් හට ගනු මිස, තමාගේ ප්‍රයත්නයෙන් වැඩක් සිදු නොවන බව දුටු පිලාත්, වතුර ගෙන, ජනකාය ඉදිරියේ අත් සෝදමින්, “මේ මනුෂ්‍යයාගේ ලේ ගැන මම නිදොස් ය. ඔබ ම වගබලා ගන්නැ”යි කී ය. මුළු සමූහයා උත්තර දෙමින්, “ඔහුගේ ලේවල පල විපාකය අප පිට ද අපේ දරුවන් පිට ද වේ වා”යි කී හ. එකල පිලාත්, ඔවුන්ට බරබ්බස් නිදහස් කර දුන්නේ ය. එහෙත්, ඔහු ජේසුස් වහන්සේට තළවා, කුරුසියෙහි ඇණ ගැසීමට භාර දුන්නේ ය. එකල ආණ්ඩුකාරයාගේ මුරසෙබළෝ ජේසුස් වහන්සේ ප්‍රෙතෝරියම් නම් රජ වාසලට ගෙන ගොස් මුළු සේනාංකය උන් වහන්සේ වෙත රැස් කළහ. ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් ගලවාදමා, නීල-රක්ත සළුවක් උන් වහන්සේට ඇන්දෙව්වෝ ය. තවද ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන් වහන්සේගේ හිස මත තබා, බට දණ්ඩක් දකුණතට දී, උන් වහන්සේ අබිමුවෙහි දණ නමා, “ජුදෙව්වන්ගේ රජුනි, සැරදේ!” කියා උන් වහන්සේට සරදම් කළහ. ඔව්හු උන් වහන්සේට කෙළ ගසා, බට දණ්ඩ ගෙන, උන් වහන්සේගේ හිසට ගැසූ හ. මෙසේ ගැරහුම් කළ පසු ඔව්හු උන් වහන්සේට ඇන්දූ සළුව ගලවා, උන් වහන්සේගේ ම ඇඳුම් අඳවා, උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන පිණිස ගෙන ගියහ.

