ශුද්ධවර මතෙව් 26:6-29

ශුද්ධවර මතෙව් 26:6-29 SNRV

ජේසුස් වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගී වූ සීමොන්ගේ ගෙදර සිටිය දී, එක් ස්ත්‍රියක් ඉතා අගනා සුවඳ විලවුන් පිරුණු කිරිගල් කරඬුවක් ගෙන උන් වහන්සේ වෙතට අවුත්, කෑමට හිඳගෙන හුන් උන් වහන්සේගේ හිස මත වත් කළා ය. ඒ දුටු ශ්‍රාවකයෝ කෝප වී, “මෙවැනි නාස්තියක් කෙළේ මන් ද? මේ විලේපනය විශාල මුදලකට විකුණා දිළිඳුන්ට දිය හැකි ව තිබුණා නොවේ දැ”යි කී හ. එහෙත්, ජේසුස් වහන්සේ එය දැන මෙසේ වදාළ සේක: “ඔබ මේ ස්ත්‍රියට කරදර කරන්නේ මන් ද? ඇය මා හට කෙළේ මනහර දෙයකි. මන්ද, දුගීහු ඔබ සමඟ හැමදා ම සිටිති. එහෙත්, මම හැමදා ම ඔබ සමඟ නොසිටිමි. ඇය මේ විලේපනය මාගේ සිරුරේ වත් කෙළේ අවමංගල්‍යය සඳහා මා සූදානම් කරන පිණිස ය. සැබැවින් ම මම ඔබට කියමි, ලොව පුරා මේ සුබ අස්න ප්‍රකාශ කරන හැම තැනක දී ම මේ ස්ත්‍රිය කළ මේ ක්‍රියාව ඇය සැමරීම පිණිස කියනු ලබන්නේ ය.” තවද දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් නායක පූජකයන් වෙත ගොස්, “ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ. එතැන් පටන් ඔහු උන් වහන්සේ පාවා දීමට සුදුසු අවස්ථාවක් සෙවී ය. නුමුහුන් පූප මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ ද, “ඔබ නගරයේ සිටින අසවල් මනුෂ්‍යයා වෙතට ගොස්, ‘මාගේ නියමිත මොහොත ළං ව ඇත; මාගේ ශ්‍රාවකයන් සමඟ ඔබේ නිවසේ දී පාස්කු භෝජනය පවත්වමි යි ගුරුදේවයන් වහන්සේ කියන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි වදාළ සේක. ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ ඔවුන්ට අණ කළ ලෙස පාස්කු භෝජනය පිළියෙළ කළහ. සවස් වූ කල උන් වහන්සේ අපෝස්තුළුවරුන් දොළොස් දෙනා සමඟ කෑමට හිඳගත් සේක. ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක. ඔව්හු අතිශයින් ශෝක ව එකිනෙකා, “ස්වාමීනි, ඒ මම දැ”යි අසන්න පටන් ගත්හ. උන් වහන්සේ උත්තර දෙමින්, “මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේ මා පාවා දෙන්නේ ය. මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ම ඔහු නියමිත ගමන යන්නේ ය. එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක. උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. “වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක. ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් වහන්සේ පූප ගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, “රැගෙන වළඳන්න, මේ මාගේ ශරීරය”යි වදාළ සේක. උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී, “ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ. මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි දී මා ඔබ සමඟ අලුත් මිදියුස පානය කරන දවස එන තුරු මෙතැන් පටන් මේ මිදියුස තවත් නොබොන්නෙමි යි ඔබට කියමි”යි වදාළ සේක.