ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් වෙතට අවුත්, “ඔබ තවමත් නිදාගෙන විඩා හරිමින් සිටින්නහු ද? මෙන්න, නියමිත මොහොත ළං වී ඇත; මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන් අතට පාවා දෙනු ලබන සේක. නැඟිටින්න, අපි යමු. අන්න, මා පාවා දෙන්නා ඉතා ළඟ ය”යි වදාළ සේක.
උන් වහන්සේ කතා කරද්දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වන ජූදස් ද, ඔහු සමඟ නායක පූජකයන් හා ප්‍රජා මූලිකයන් වෙතින් යවන ලද කඩු මුගුරු ගත් මහත් ජනකායක් ද එහි පැමිණියහ. උන් වහන්සේ පාවා දෙන්නා, “මම යමෙකු සිඹිම් ද, ඔබ සොයන තැනැත්තා ඔහු ය; ඔහු අල්ලාගන්න” කියා ඔවුන්ට ලකුණක් දී තිබිණි. එකෙණෙහි ම ඔහු ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ගුරුදේවයෙනි, ඔබට සෙත් වේ!” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. ජේසුස් වහන්සේ ද, “මිත්‍රය, ඔබ කරන්න ආ දෙය කරන්නැ”යි ඔහුට වදාළ සේක. එවිට ඔව්හු අවුත්, ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගෙන, තදින් අල්ලාගත්හ. උන් වහන්සේ හා සමඟ සිටි අයගෙන් කෙනෙක්, අතින් කඩුව ගෙන නායක පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපා දැමී ය. එවිට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබගේ කඩුව කොපුවේ දමන්න, කඩු ගන්නා සියල්ලෝ ම කඩුවෙන් ම නසිති. දේව දූතයන් සේනාංක දොළොසකට වඩා වහා ම එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්න මට නොහැකි ය යි ඔබ සිතන්නෙහි ද? එහෙත්, එසේ කළොත්, මේ දෙය මෙලෙස ම විය යුතු යයි ශුද්ධ ලියවිලිවල කියන දේ ඉටු වන්නේ කෙසේ දැ”යි ඔහුට වදාළ සේක. ඒ පැයේ දී ම ජේසුස් වහන්සේ ජනකායට කතා කොට, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්නට ආවහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි උගන්වමින් සිටියෙමි. එහෙත්, ඔබ මා අල්ලාගත්තේ නැත. මේ සියල්ල සිදුවූයේ දිවැසිවරයන්ගේ ලියවිලි ඉෂ්ට වන පිණිස ය”යි වදාළ සේක. එවිට ශ්‍රාවකයෝ සියල්ලෝ ම උන් වහන්සේ අත්හැර පලා ගියහ.
ජේසුස් වහන්සේ අල්ලාගත් අය උත්තම පූජක කායාපස් වෙතට උන් වහන්සේ ගෙන ගියහ. විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද එහි රැස් වී සිටියහ. එහෙත් පේදුරු, උත්තම පූජකයාගේ මළුව දක්වා උන් වහන්සේ පසුපස්සේ දුරින් ගොස්, එහි ඇතුළු වී, කුමකින් කුමක් වේ දැ යි බලන පිණිස මුර සේවකයන් හා සමඟ හිඳගත්තේ ය.
නායක පූජකවරු ද මුළු ශ්‍රේෂ්ඨාධිකරණය ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව බොරු සාක්ෂි සෙවූ හ. බොහෝ බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් වූ නමුත්, කිසි සාක්ෂියක් සම්බ නො වී ය. පසුව දෙදෙනෙක් ඉදිරිපත් වී, “ ‘දේව මාලිගාව කඩාදමා එය තුන් දිනකින් යළි ගොඩනඟන්න මට පුළුවන’ කියා මොහු කීවේ ය”යි කී හ. එවිට උත්තම පූජකයා නැඟිට, “ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. එහෙත්, උන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේක. එවිට උත්තම පූජකයා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ දැ යි දිවුරා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි උන් වහන්සේට කී ය. ජේසුස් වහන්සේ ද, “ඔබ කියන දෙය හරි ය. තවදුරටත් මම ඔබට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය-පුත්‍රයාණන් පරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩ සිටිනවාත්, අහසේ වළාකුළු මත වඩිනවාත් ඔබ දකින්නෙහි ය”යි ඔහුට වදාළ සේක. එවිට උත්තම පූජකයා සන්තාපයෙන් යුතු ව තමාගේ වස්ත්‍ර ඉරාගෙන මොහු දේවාපහාසයක් කෙළේ ය. තවත් අපට සාක්ෂිකාරයන්ගෙන් වැඩක් නැත, මොහුගේ දේවාපහාසය දැන් ඔබට ඇසුණේ ය. ඔබ කුමක් සිතන්නහු දැ”යි කී ය. ඔව්හු උත්තර දෙමින්, “මොහු මරණයට සුදුසු ය”යි කී හ.
එවිට ඔව්හු උන් වහන්සේගේ මුහුණට කෙළ ගසා, මිට මොලවා පහර දුන්හ. සමහරෙක් උන් වහන්සේට අතුල් පහර දී, “ක්‍රිස්තුවරයාණෙනි, ඔබට ගැසුවේ කවරෙක් දැ යි දිවැසින් බලා අපට කියන්නැ”යි කී හ.
පේදුරු මළුවෙහි පිටත වාඩි වී සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ඔබත් ඒ ජේසුස් නම් ගලීලයා සමඟ සිටියෙහි ය”යි කීවා ය. “මොන බොරු ද? ඔය කතාව මට තේරෙන්නේ නැතැ”යි ඔහු සියල්ලන් ඉදිරියෙහි කී ය.