ශුද්ධවර මතෙව් 21:8-22

ශුද්ධවර මතෙව් 21:8-22 SNRV

සමූහයාගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ උතුරුසළු මඟ අතුළෝ ය; තවත් සමහරු ගස්වලින් අතු කපා මඟ අතුළෝ ය. පෙරටුව හා පසුව ගමන් කළ සමූහයෝ, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා! සමිඳුන්ගේ නමින් වඩිනා මෙතුමාණන් හට, ආසිරි වේ වා! ඉතා උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූ හ. උන් වහන්සේ ජෙරුසලමට පිවිසි කල, මුළු නුවර වැසියෝ කැළඹී, “මේ කවරෙක් දැ”යි ඇසූ හ. සමූහයෝ ද, “මෙතුමාණෝ ගලීලයේ නාසරෙත් නුවර දිවැසිවර ජේසුස් වහන්සේ ය”යි පිළිතුරු දුන්හ. ජේසුස් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව, එහි වෙළහෙළඳාම් කරමින් සිටි සියල්ලන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා, “ ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහය කැ යි කියනු ලබන්නේ ය’යි ලියා ඇත. එහෙත්, ඔබ එය සොරුන්ගේ ගුහාවක් කරන්නහු ය”යි ඔවුන්ට වදාළ සේක. අන්ධයෝ ද කොරු ද දේව මාලිගාවෙහි උන් වහන්සේ වෙතට ආහ. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක. එහෙත්, නායක පූජකවරු හා විනයධරයෝ උන් වහන්සේ කළ අරුමපුදුම දේ ද, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා” කියමින් දේව මාලිගාවේ මොරගසන දරුවන් ද දැක කෝප වී, “මොවුන් කියන දේ ඔබට ඇසෙනවා දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ජේසුස් වහන්සේ, “එසේ ය, බිළිඳුන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින් ඔබ තුති පිදීම සලසා ඇත යන පාඨය කවදාවත් කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. උන් වහන්සේ ඔවුන්ගෙන් වෙන් වී, නුවරින් නික්ම බෙතානියට ගොස් එහි රාත්‍රිය ගත කළ සේක. පසු දින උදෑසන නුවරට නැවත යන අතර උන් වහන්සේට සාගිනි විය. උන් වහන්සේ පාර අද්දර තිබුණු අත්තික්කා ගසක් දැක, ළඟට ගොස්, එහි කොළ මිස අන් කිසිවක් නොදැක, “මෙතැන් පටන් කිසි කලෙක තාගෙන් පලදාවක් නො වේ වා”යි ඒ ගසට වදාළ සේක. අත්තික්කා ගස ඒ ඇසිල්ලෙහි ම වියළී ගියේ ය. ශ්‍රාවකයෝ ඒ දැක, අත්තික්කා ගස ඒ ඇසිල්ලෙහි ම වියළුණේ කෙසේ දැ යි මවිත වූ හ. ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබ සැක නොකොට, ඇදහිල්ල ඇති ව සිටින්නහු නම්, මේ අත්තික්කා ගසට මා කළ දෙය ඔබත් කරනු ඇත. එපමණක් නොව, මේ කන්දට, ‘ඉදිරී ගොස් මුහුදේ වැටේ වා’යි කීවොත් එය ද සිදුවනු ඇත. තවද, ඔබට ඇදහිල්ල ඇත්නම්, කවර දෙයක් ඉල්ලා යාච්ඤා කළත් එය ඔබට ලැබෙනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.

ශුද්ධවර මතෙව් 21:8-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය