ශුද්ධවර මතෙව් 21:1-10

ශුද්ධවර මතෙව් 21:1-10 SNRV

ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්ද සමීපයෙහි වූ බෙත්පාගයට පැමිණියහ. ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, “ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහි ම එහි බැඳ සිටින කොටළු දෙනක හා ඈ සමඟ කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත. උන් ලිහා මා වෙතට ගෙනෙන්න. යම් කෙනෙකු යමක් කීවොත්, ‘සමිඳාණන් වහන්සේට උන්ගෙන් වැඩක් ඇතැ’යි කියන්න; එවිට ඔහු වහාම උන් එවනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක. මෙසේ වූයේ දිවැසිවරයා ලවා කියවන ලද මේ දෙය ඉටු වන පිණිස ය. එනම්: “බලන්න, ඔබේ රජ කොටළුවෙකු පිට, එසේ ය, කොටළු වස්සෙකු පිට නැඟී, යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ යයි සියොන් වැසියන්ට දන්වන්න” යනුයි. ‘ශ්‍රාවකයෝ ගොස් ජේසුස් වහන්සේ නියම කළ ලෙස කළහ: කොටළු දෙන ද පැටියා ද ගෙනවුත් තමන්ගේ උතුරුසළු උන් පිට එළාලූහ. උන් වහන්සේ හිඳගත් සේක. සමූහයාගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ උතුරුසළු මඟ අතුළෝ ය; තවත් සමහරු ගස්වලින් අතු කපා මඟ අතුළෝ ය. පෙරටුව හා පසුව ගමන් කළ සමූහයෝ, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා! සමිඳුන්ගේ නමින් වඩිනා මෙතුමාණන් හට, ආසිරි වේ වා! ඉතා උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූ හ. උන් වහන්සේ ජෙරුසලමට පිවිසි කල, මුළු නුවර වැසියෝ කැළඹී, “මේ කවරෙක් දැ”යි ඇසූ හ.

ශුද්ධවර මතෙව් 21:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය