ශුද්ධවර මතෙව් 19:13-30

ශුද්ධවර මතෙව් 19:13-30 SNRV

එකල උන් වහන්සේගේ අත් ළදරුවන් පිට තබා යාච්ඤා කරන පිණිස, සමහරු උන් වහන්සේ වෙතට ඔවුන් ගෙනාහ. ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ. එහෙත්, ජේසුස් වහන්සේ කතා කොට, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නන්ගේ ය”යි වදාළ සේක. උන් වහන්සේ ඔවුන් පිට අත් තබා එතැනින් නික්ම ගිය සේක. වරක් එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, සදාතන ජීවනය ලබනු වස්, මා කුමන යහපතක් කළ යුතු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක. “කොයි ආඥා දැ”යි ඔහු උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; නුඹේ පියාට ද මවට ද ගෞරව කරන්න; නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන මේවා ය”යි වදාළ සේක. තරුණයා කතා කරමින්, “මේ සියල්ලක් ම පිළිපැදීමි; තව මට අඩු කිමෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමැත්තෙහි නම්, ගොස් ඔබ සතු සියල්ල විකුණා, දිළිඳුන්ට දෙන්න; එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය; එන්න, ඔබ මා අනුගාමී වන්නැ”යි ඔහුට වදාළ සේක. එහෙත්, ඒ තරුණයා ඒ කීම අසා, දොම්නස් සිතින් යන්න ගියේ ය. මන්ද, ඔහු බොහෝ ධනසම්පත් ඇති කෙනෙකු වූ බැවිනි. එවිට ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි. ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම දුෂ්කර ය. යළිත් මම ඔබට කියමි, ධනපතියෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය”යි වදාළ සේක. ශ්‍රාවකයෝ ඒ අසා අතිශයින් මවිත වී, “එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, “මිනිසුන්ට නම් එසේ කළ නොහැකි ය; එහෙත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය”යි වදාළ සේක. එවිට පේදුරු කතා කරමින්, “බලන්න, අපි නම් සියල්ල අත්හැර දමා ඔබ අනුව ආවෙමු; එහෙයින් අපට කුමක් ලැබේ දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, මෙසේ වදාළ සේක: “සැබැවින් ම මම ඔබට කියමි, මතු ඇති වන නව යුගයේ දී මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමාන්විත ව සිංහාසනයේ වැඩ හිඳින කල, මා අනුගාමී වූ ඔබත් ඉශ්රායෙල් ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහු ය. ඇරත් මාගේ නාමය නිසා, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ පියා හෝ මව හෝ දූ පුතුන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද, ඔහු ඒ වෙනුවට සිය ගුණයක් ලබන්නේ ය; සදාතන ජීවනය ද හිමි කරගන්නේ ය. එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය.”

ශුද්ධවර මතෙව් 19:13-30 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය