ශුද්ධවර මතෙව් 13:30-58
ශුද්ධවර මතෙව් 13:30-58 SNRV
ගොයම් කපන කාලය දක්වා දෙවගේ ම එකට වැඩෙන්න හරින්න. ඉන්පසු ගොයම් කපන කාලයේ දී පළමු කොට කිරිඳි එකතු කොට දවන පිණිස මිටි බඳින්න. තිරිඟු මාගේ අටුවේ රැස් කරන්නැ යි කපන්නන්ට කියමි’යි කීවේ ය.” උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි තවත් උපමාවක් වදාරමින්, “ස්වර්ග රාජ්‍යය මෙබඳු ය. එක්තරා මිනිසෙක් සිය කෙතෙහි අබ ඇටයක් වපුළේ ය. එය සියලු ම බීජවලට වඩා කුඩා වුවත්, වැඩුණු කල හැම පලා වර්ගවලට වඩා විශාල වී, අහසේ කුරුල්ලන් අවුත් එහි අතුවල ලැගුම් ගන්න තරම් ලොකු ගසක් වන්නේ ය”යි කී සේක. උන් වහන්සේ තවත් උපමාවක් වදාරමින්, “ස්ත්‍රියක විසින් පිටි නැළි තුනක් සහමුලින් ම පිපෙන තුරු එහි දමන ලද මුහුන් පිඩකට ස්වර්ග රාජ්‍යය සමාන ය”යි කී සේක. ජේසුස් වහන්සේ මේ සියල්ල ජනකායට උපමා මඟින් පැවසූ සේක. උපමාවක් නැති ව කිසිවක් ඔවුන්ට නොවදාළ සේක. මෙසේ වූයේ: “මම උපමා මඟින් කතා කරමි, ලෝකයේ මුල සිට ම රහස් ව තිබුණු දේ හෙළි කරන්නෙමි”යි දිවැසිවරයන් ලවා පවසන ලද කරුණු ඉටු වන පිණිස ය. එවිට උන් වහන්සේ ජනකාය යන්න හැර ගෙට වැඩිය සේක. ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනව”යි කී හ. උන් වහන්සේ උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “හොඳ බීජ වපුරන තැනැත්තේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය; කෙත නම් ලෝකය ය; හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අය ය; කිරිඳි නම් නපුරාට අයිති අය ය. ඒවා වපුළ සතුරා නම් යක්ෂයා ය; කපන කාලය නම් යුගාන්තය ය; කපන්නෝ නම් දේව දූතයෝ ය. කිරිඳි එක් කොට ගින්නෙහි දවන්නේ යම් සේ ද, යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. මනුෂ්‍ය-පුත්‍රයාණෝ ස්වකීය දූතයන් එවන සේක. ඔව්හු උන් වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ල ද අදමිටුකම් කරන්නන් ද එක් කොට, ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි දී වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය. එකල දැහැමි අය තම පියාණන් වහන්සේගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝ ය. සවන් ඇත්තෝ සවන් දෙත් වා!” “ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබුණු නිධානයකට සමාන ය. එක්තරා මිනිසෙකුට එය සම්බ විය. ඔහුත් එය සඟවා තබා, මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිළ දී ගත්තේ ය. “ස්වර්ග රාජ්‍යය, අගනා මුතු සොයා ගිය වෙළෙන්දෙකුට සමාන ය. ඉතා අගනා මුතු ඇටයක් සම්බ වූ විට ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා එය මිලට ගත්තේ ය. “ස්වර්ග රාජ්‍යය වනාහි, මුහුදේ හෙළන ලද, සියලු වර්ගවල මසුන් හසු කරගත් දැලකට සමාන ය. ඒ දැල පිරුණු කල, ධීවරයෝ එය වෙරළට ඇද, හිඳගෙන, හොඳ මසුන් භාජනවලට එකතු කොට නරක මසුන් ඉවත දැමූ හ. යුගාන්තයේ දී එසේ ම වන්නේ ය. දේව දූතයෝ නික්ම අවුත්, දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන් කොට, අදමිටුන් ගිනි උදුනෙහි හෙළන්නෝ ය. එහි වැලපීම ද දත්මිටි කෑම ද වන්නේ ය. “ඔබ මේ සියල්ල වටහා ගත්තහු දැ”යි උන් වහන්සේ ඇසූ සේක. “එසේ ය”යි ඔව්හු කී හ. එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “එහෙයින් ස්වර්ග රාජ්‍යයෙහි ගෝලයෙකු බවට පත් වන යම් විනයධරයෙක් වේ ද, ඔහු සිය ගබඩාවෙන් නවීන දේත්, පැරණි දේත් පිටතට ගෙනෙන ගෘහ මූලිකයෙකුට සමාන ය”යි වදාළ සේක. ජේසුස් වහන්සේ මේ උපමා කියා නිම කළ පසු එතැනින් නික්ම ගිය සේක. උන් වහන්සේ සිය රටට පැමිණ, ධර්මශාලාවේ දී ඔවුන්ට ඉගැන් වූ සේක. ඔව්හු විස්මයට පත් ව, “මොහුට මේ ප්‍රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේ ද? මොහු වඩුවාගේ පුතා නොවේ ද? මොහුගේ මවගේ නම මරියා නොවේ ද? මොහුගේ සහෝදරයෝ ජාකොබ්, ජෝසෙප්, සීමොන් සහ ජූදස් නොවෙත් ද? මොහුගේ සියලු සහෝදරියෝත් අප අතරෙහි නොවෙත් ද? එසේ නම්, මේ සියල්ල මොහුට කොහෙන් පහළ වී ද?” කියා, උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. එහෙත් ජේසුස් වහන්සේ කතා කොට, “දිවැසිවරයෙකුට ගරුබුහුමන් නොලැබෙන්නේ සිය රටේ දීත්, සිය ගෙදර දීත් පමණකැ”යි වදාළ සේක. ඔවුන්ගේ අවිශ්වාසය නිසා උන් වහන්සේ එහි දී බොහෝ හාස්කම් නොකළ සේක.

