ශුද්ධවර මතෙව් 13:13-29

ශුද්ධවර මතෙව් 13:13-29 SNRV

එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසා ද, අස අසාත් නොඅසන නිසා ද, වටහා නොගන්න නිසා ද ඔවුන්ට උපමා මඟින් කතා කරමි. මෙසේ, යෙසායාගේ දිවැස් කීම ඔවුන් කෙරේ ඉෂ්ට වනු ඇත. එනම්: ‘ඔබ අස අසාත් තේරුම් නොගන්නහු ය; දැක දැකත් නොදක්නහු ය. මේ සෙනඟගේ සිත් අඳුරු ය; ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මම ද ඔවුන් සුවපත් කරමි’ යනු යි. එහෙත්, ඔබට ඇසින් පෙනෙන නිසා ද, කනින් ඇසෙන නිසා ද, ඔබ භාග්‍යවන්ත ය. සැබැවින් ම මම ඔබට කියමි, බොහෝ දිවැසිවරයන් ද දැහැමි අය ද ඔබ දකින දේ දකින්ටත්, අසන දේ අසන්ටත් ආසා වූ නමුත්, ඔවුන් ඒවා දුටුවේ වත්, ඇසුවේ වත් නැත.” “එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම්ගන්න. යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවුඩය අසා එය වටහා නොගනී නම්, ඔහුගේ සිතේ වැපුරූ දේ නපුරා අවුත් පැහැරගනියි. මඟ දිගේ වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය. පණිවුඩය ඇසූ කෙණෙහි ම එය සතුටින් පිළිගනිතත්, සිත්හි තැන්පත් වී නැති බැවින්, මඳ කලක් පැවත, පණිවුඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහා ම කෙනෙක් පැකිළී වැටෙති. ගල් බිම්වල වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය. පණිවුඩය අසා, මේ ජීවිතයේ කරදරවලින් ද වස්තු මායාවෙන් ද පණිවුඩය යටපත් වීම නිසා, කෙනෙක් පල නොදරති. කටු අතර වැටුණ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය. පණිවුඩය අසා එය වටහා ගෙන සිය ගුණයක් ද හැට ගුණයක් ද තිස් ගුණයක් ද බැගින් කෙනෙක් පල දරති. සරු බිමෙහි වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ එවැනි අය ය.” උන් වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළ සේක: “ස්වර්ග රාජ්‍යය හොඳ බීජ වපුළ මිනිසෙකුට සමාන ය. මිනිසුන් නිදා සිටිය දී ඔහුගේ සතුරා අවුත් තිරිඟු අතර කිරිඳි වපුරා ගියේ ය. තිරිඟු පැල නැඟී, කරල් හටගත් කල කිරිඳිත් මතු විය. එවිට ගෘහ මූලිකයාගේ දාසයෝ අවුත්, ‘ස්වාමීනි, ඔබේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේ ද? එසේ නම් කිරිඳි කොහෙන් දැ’යි ඔහුගෙන් ඇසූ හ. ‘මෙය සතුරෙකුගේ වැඩක් ය’යි ඔහු කී ය. එවිට දාසයෝ කතා කොට, ‘එසේ නම්, අප ගොස් ඒවා උදුරාදමන්න දැ’යි ඔහුගෙන් ඇසූ හ. එහෙත්, ඔහු උත්තර දෙමින්, ‘එසේ නොකරන්න. ඔබ කිරිඳි උදුරද්දී ඒ සමඟ තිරිඟුත් ඉදිරෙන්නට පුළුවන.

ශුද්ධවර මතෙව් 13:13-29 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය