ජේසුස් වහන්සේ සිය අපෝස්තුළුවරුන් දොළොස් දෙනා තමන් වෙත කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන පිණිස ද සියලු ආකාර ලෙඩ රෝග සුව කරන පිණිස ද ඔවුන්ට බලය පවරා දුන් සේක.
අපෝස්තුළුවරුන් දොළොස් දෙනාගේ නම් මෙසේ ය: පළමු ව පේදුරු නම් ලත් සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ය; සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ය; පිලිප් සහ බර්තොලමේව් ය; තෝමස් සහ අයකැමියා වන මතෙව් ය; අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ තද්දෙවුස් ය; අන්ත ජාතිවාදී සීමොන් සහ උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් යන මොවුහු ය.
ජේසුස් වහන්සේ මෙකී දොළොස් දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණ දුන් සේක: “විජාතීන්ගේ මාවතකට පා නොතබන්න; සමාරියයන්ගේ නුවරකට ඇතුළු නොවන්න; ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතට යන්න. එසේ ගොස්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇතැ’යි දේශනා කරන්න. රෝගීන් සුව කරන්න, මළවුන් නැඟුටුවන්න, ලාදුරු රෝගීන් පවිත්‍ර කරන්න. දුෂ්ටාත්මයන් දුරු කරන්න. ඔබ නොමිලයේ ලැබුවහු ය, නොමිලයේ දෙන්න. ඔබේ පසුම්බිවල රන් හෝ රිදී හෝ තඹ කාසි හෝ ගෙන නොයන්න. ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරයටියක් වත් සපයා නොගන්න. මන්ද, සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතු ය. ඔබ කවර නුවරකට හෝ ගමකට හෝ ඇතුළු වූ කල ඔබ පිළිගන්නට සතුටු කෙනෙකු සොයාගෙන, ඉන් නික්ම යන තුරු එහි ම නැවතී ඉන්න. ගෙදරකට ඇතුළු වන විට එයට සුබ පතන්න. ගෙයි වැසියෝ සුදුසු අය නම්, ඔබේ ඒ සුබ පැතුම ඔවුන් පිට පැමිණේ වා. එහෙත්, නුසුදුසු නම්, ඔබගේ ඒ සුබ පැතුම, යළි ඔබ වෙත පැමිණේ වා. කවරෙකු වුව ද ඔබ පිළිගන්නේ වත්, ඔබගේ වචන අසන්නේ වත් නැත් නම්, ඒ ගෙදරින් හෝ ඒ නුවරින් හෝ නික්ම යන කල ඔබේ පාදවල දූවිලි ගසාදමන්න. සැබැවින් ම මම ඔබට කියමි: දේව විනිශ්චය දවසේ දී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමොරා රටට සහනය ලැබෙන්නේ ය.”
“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න. ඒ නිසා මිනිසුන්ගෙන් පරෙස්සම් වන්න. මන්ද, ඔවුන් ඔබ උසාවිවලට පාවා දී, ඔවුන්ගේ ධර්මශාලාවල දී ඔබට තළනු ඇත. ඔවුන්ට හා විජාතීන්ට සාක්ෂියක් පිණිස ඔබ මා නිසා ආණ්ඩුකාරයන් ද රජුන් ද ඉදිරියට ගෙනයනු ලබනු ඇත. එහෙත්, ඔවුන් ඔබ පාවා දෙන කල, ඔබ කතා කළ යුත්තේ කෙසේ ද, කිව යුත්තේ කුමක් දැ යි සිතමින් කරදර නොවන්න. මන්ද, ඔබ කිව යුතු දේ නියම වේලාවේ දී ම ඔබට දෙනු ලැබේ. කතා කරන්නේ ඔබ නොව, ඔබ තුළින් කතා කරන ඔබේ පියාණන්ගේ ආත්මයාණෝ ය.
“තවද, සහෝදරයා තම සහෝදරයා ද පියා තම දරුවා ද මරණයට පාවා දෙන්නෝ ය. දරුවෝ ද මවුපියන්ට විරුද්ධ ව නැඟී සිට ඔවුන් මරණයට පත් කරවන්නෝ ය. මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත්, අන්තිම දක්වා ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය. ඔවුන් එක් නුවරක දී ඔබට පීඩා කළහොත්, ඊළඟ නුවරට දිව යන්න. සැබැවින් ම මම ඔබට කියමි, මනුෂ්‍ය-පුත්‍රයාණන් එන්න පෙර, ඉශ්රායෙල්හි සියලු නුවරවල සැරිසරා නිමකරන්න ඔබට නොහැකි ය.