ශුද්ධවර ලූක් 6:12-36

ශුද්ධවර ලූක් 6:12-36 SNRV

තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක. පහන් වූ කල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, ඔවුන් අතරෙන් දොළොස් දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට අපෝස්තුළුවරු යයි නම් තැබූ සේක. ඔව්හු කවුරු ද යත්: උන් වහන්සේ විසින් පේදුරු යයි නම් කරන ලද සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද ජාකොබ් සහ ජොහන් ද පිලිප් සහ බර්තොලමෙව් ද මතෙව් සහ තෝමස් ද අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියා යි නම් ලත් සීමොන් ද ජාකොබ්ගේ පුත් ජූදස් සහ පසුව ද්‍රෝහියා වූ ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය. උන් වහන්සේ ඔවුන් සමඟ කන්දෙන් බැස තැනිතලා බිමක නැවතී සිටි සේක; උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් මහා සමූහයක් ද, මුළු ජුදයෙන් හා ජෙරුසලමෙනුත්, තීර්හි සහ සීදොනයෙහි මුහුදුකරයෙනුත් උන් වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝග සුව කරවාගන්නට ආ බොහෝ දෙනෙක් ද එහි වූ හ. අශුද්ධාත්මයන්ගෙන් පීඩිත වූවෝ සුව කරනු ලැබූ හ. උන් වහන්සේ කෙරෙන් අනුහස නික්ම ඔවුන් සියල්ලන් සුව කළ බැවින්, මුළු සමූහයා උන් වහන්සේගේ ඇඟට අත තබන්නට උත්සාහ කළහ. එකල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙ‍සේ වදාළ සේක: “දිළිඳු වූ ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය. දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ තෘප්තිමත් වනු ඇත. දැන් කඳුළු හෙළන ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ සිනාසෙනු ඇත. මනුෂ්‍ය-පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝ ය. ඒ දවස්වල දී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් නටන්න; මක්නිසා ද යත්, ස්වර්ගයෙහි ඔබගේ පල විපාක ඉමහත් වනු ඇත; ඔවුන්ගේ පියවරු දිවැසිවරයන්ට ද එසේ ම කළහ. අහෝ, ධනවත් ඔබට වන විපතක මහත! ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාර ය. අහෝ, දැන් පුෂ්ටිමත් ව සිටින ඔබට වන විපතක මහත! ඔබට, සාගිනි වනු ඇත. අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත! ඔබ හඬා වැලපෙනු ඇත. අහෝ, මිනිසුන් ඔබ පසසන විට ඔබට වන විපතක මහත! ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරයන්ටත් කෙළේ එය ම ය.” “මට සවන් දෙන ඔබට මෙ‍ය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න; ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න; ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න; ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනය වුව ද වළක්වා නොගන්න. ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහු ද ඔබත් ඔවුන්ට ඒ දේ ම කරන්න. “ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා එසේ කරති. ඔබ නැවත ලබන බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති. එහෙත්, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න, ආපසු ලබන බලාපොරොත්තුවක් නැති ව ම ණයට දෙන්න. එවිට ඔබේ පල විපාක මහත් වේ; ඔබ පරමෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහු ය. මන්ද, කෙළෙහි ගුණ නොදත් අයට ද දුෂ්ටයන්ට ද උන් වහන්සේ කාරුණික ය. ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙ‍න් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.”