ශුද්ධවර ලූක් 22:33-49

ශුද්ධවර ලූක් 22:33-49 SNRV

ඔහු උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ හා සමඟ හිරේ යාමට හා මරණයට වුව ද මම සූදානම් ව සිටිමි”යි උන් වහන්සේට කී ය. ජේසුස් වහන්සේ කතා කරමින්, “පේදුරු, මම මෙ‍ය ඔබට කියමි, ඔබ මා නොදන්නා බව තුන් වරක් කියන තුරු, අද රෑ කුකුළා නොහඬළන්නේ ය”යි වදාළ සේක. උන් වහන්සේ ඔවුන්ට වදාරමින්, “පසුම්බියක් වත්, මල්ලක් වත්, පා වහන් වත් නැති ව මා ඔබ යැවූ කල කිසිවක් හිඟ වී දැ”යි ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, “නැතැ”යි කී හ. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “එහෙත් දැන් පසුම්බියක් ඇති තැනැත්තා එය ගනී වා, එසේ ම මල්ලක් ද ගනී වා, කඩුවක් නැති තැනැත්තා තම සළුව විකුණා, කඩුවක් මිළ දී ගනී වා. මම මෙ‍ය ඔබට කියමි, ‘උන් වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබී ය’යි ලියා තිබෙන ඒ කීම මා තුළින් මුදුන් පත් විය යුතු ය; මා ගැන ලියා ඇති දෙය සම්පූර්ණ වන්නේ ම ය”යි වදාළ සේක. ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, බැලුව මැනව, කඩු දෙකක් මෙ‍හි ඇතැ”යි කී හ. උන් වහන්සේ ද: “ඔය ඇති”යි වදාළ සේක. එවිට ජේසුස් වහන්සේ පිටත් ව සිරිත් පරිදි ඔලීව කන්දට වැඩිය සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පසුපස්සේ ගියහ. උන් වහන්සේ එහි පැමිණි පසු කතා කොට, “ඔබ පරීක්ෂාවට නොවැටෙන ලෙස යාච්ඤා කරන්නැ”යි වදාළ සේක. ගලක් ගසන තරම් දුරක් උන් වහන්සේ ඔවුන්ගෙන් ඈත් වී, දණින් හිඳ යාච්ඤා කරමින්, “පියාණෙනි, ඔබ කැමැති සේක් නම්, මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේ වා”යි වදාළ සේක. එකල දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී, උන් වහන්සේ ශක්තිමත් කෙළේ ය. උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙ‍න් බිම වැටිණි. උන් වහන්සේ යාච්ඤා කරමින් සිට නැඟිට, ශ්‍රාවකයන් වෙත අවුත්, ඔවුන් ශෝකය නිසා නිඳා හිඳිනු දැක, “ඔබ නිඳා ඉන්නේ මන් ද? පරීක්ෂාවට නොවැටෙන පිණිස නැඟිට යාච්ඤා කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ මෙ‍වදන් පවසත් ම සමූහයක් පැමිණියහ. දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ජූදස් නමැත්තා ඔවුන්ට පෙරටුව අවුත්, ජේසුස් වහන්සේ සිඹින පිණිස උන් වහන්සේ වෙතට ළං විය. ජේසුස් වහන්සේ ද “ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන්නෙහි දැ”යි ඇසූ සේක. උන් වහන්සේ සමඟ සිටි අය සිදු වන්න යන දෙය දැක, “ස්වාමීනි, කඩු පහරක් දෙමු දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.