ශුද්ධවර ලූක් 12:16-34

ශුද්ධවර ලූක් 12:16-34 SNRV

“එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇති විය. එවිට ඔහු තම සිතින් කල්පනා කරමින්, මම කුමක් කරම් ද? මාගේ භවභෝග රැස් කර තබන්න ඉඩකඩ නැත. මම මෙ‍සේ කරමි: මාගේ අටුකොටු කඩා දමා වඩා විශාල ඒවා ගොඩනඟා, ඒවායේ මාගේ සියලු ධනධාන්‍ය රැස් කොට තබා, ‘අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙ‍හි රැස් කොට තිබේ. විවේක සුවයෙන් කා බී ප්‍රීති වන්නැ’යි මට ම කියාගනිමි. එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක. දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොහොසත් නොවී තමාට ම වස්තු රැස් කරගන්නා අය එවැනි ය.” තවද උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාරන සේක්: “එහෙයින් මම ඔබට කියමි, කුමක් කමු ද කියා ජීවිතය ගැන වත්, කුමක් අඳිමු ද කියා ශරීරය ගැන වත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතය ද ඇඳුමට වඩා ශරීරය ද උතුම් ය. කපුටන් ගැන කල්පනා කරන්න: උන් වපුරන්නේ නැත, කපන්නේත් නැත, උන්ට අටුකොටු නැත, ගබඩාවක් ද නැත. එහෙත් දෙවියන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ පක්ෂීන්ට වඩා කොතරම් අගනේ ද? සිත් තැවුළෙන් ඔබගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද? ඉදින් එවැනි සුළු දෙයක් වත් කරගන්නට ඔබට නොහැකි නම්, ඔබ අනෙක් කාරණා ගැන කරදර වන්නේ මන් ද? මානෙල් මල් ගැන කල්පනා කරන්න; ඒවා නූල් කටින්නේ වත් වියන්නේ වත් නැත. එහෙත්, තමාගේ සකල රාජ තේජසින් සැරසී සිටි සලමොන් වුව ද මානෙල් මලක් සේ, විරාජමාන නොවී යයි මම ඔබට කියමි. ඇදහිලි හීන තැනැත්තෙනි! කෙතෙහි අද තිබී හෙට උදුනෙහි දමනු ලබන තෘණ දෙවියන් වහන්සේ මෙ‍සේ සරසන සේක් නම්, ඊට කොපමණ වැඩියෙන් ඔබ නොසරසන සේක් ද? එබැවින් ඔබ කුමක් කන්නේ ද කියා වත්, කුමක් බොන්නේ ද කියා වත් සොයමින් කරදර නොවන්න. මේ සියල්ල ලෝකයේ සියලු ජාතීහු මුළු සිතින් සොයා යති; මේ දේවල් ඔබට අවශ්‍ය බව ඔබේ පියාණන් වහන්සේ දන්නා සේක. එසේ නොව උන් වහන්සේගේ රාජ්‍යය සොයා යන්න, එවිට මේ දේවල් ද ඔබට දෙනු ලැබේ. “කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක. ඔබ සතුදේ විකුණා දන් දෙන්න; නොදිරන පසුම්බි ද නොපිරිහෙන වස්තු ද ස්වර්ගයෙහි ඔබට සපයාගන්න. එහි දී ඒවාට සොරු ළං නොවෙති, කාවෝ ද නාස්ති නොකරති. මන්ද, ඔබගේ වස්තුව කොතැන ද, ඔබගේ සිතත් එතැන ම ය.”