ශුද්ධවර ලූක් 1:2-38

ශුද්ධවර ලූක් 1:2-38 SNRV

ඔවුන් එසේ කර ඇත්තේ ඒ සිද්ධීන් මුල සිට ම සියැසින් දුටු අය හා දහම් පණිවුඩය දෙසූ අය අපට භාර දුන් කරුණු අනුව ය. එබැවින්, මුල සිට ම සියල්ල තතු පරිදි විමසා බැලූ මට ද ඔබ උදෙසා විධිමත් වෘත්තාන්තයක් ලිවීම මැනවැ යි සිතිණි. මා එසේ ලියන්නේ, ඔබ තුමාණන්ට උගන්වා ඇති කරුණුවල නියම සත්‍යය පහදා දෙන පිණිස ය. ජුදාහි රජ වූ හෙරොද්ගේ කාලයෙහි අබියාගේ පේරුවට අයත් සෙකරියස් නම් එක් පූජක නමක් විය. ඔහුට ආරොන්ගේ පෙළපතෙන් බිරිඳක් වූවා ය. ඇගේ නම එලිසබෙත් ය. මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ. එලිසබෙත් වඳ ව සිටි බැවින් ඔවුන්ට දරුසම්පතක් නො වී ය. ඇරත් ඒ දෙපොළ වයස් ගත ව සිටියහ. සෙකරියස්ගේ පේරුවේ අයට දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජක කටයුතු කරන අවස්ථාව පැමිණි විට, පූජක නිල පිළිවෙළින් සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයට පිවිස සුවඳ දුම් පූජා කිරීමේ වාරය, දාදු දැමීමෙ‍න්, සෙකරියස්ට පැවරිණි. සුවඳ දුම් පූජා පවත්වන වේලෙහි මුළු පිරිස පිටත යාච්ඤා කරමින් උන්හ. එවිට දුම් පූජාසනයට දකුණු පසින් සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔහුට දර්ශනය විය. සෙකරියස් ඔහු දැක කැළඹී බියපත් විය. දේව දූතයා ඔහුට කතා කොට, “සෙකරියස්, බිය නොවන්න. මන්ද, ඔබේ යාච්ඤාව අසනු ලැබී ය. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නී ය. ඔහුට ජොහන් යයි නම් තබන්න. සතුට හා සොම්නස ඔබට ඇති වේ. බොහෝ දෙන ඔහුගේ උත්පත්තිය නිමිත්තෙන් ප්‍රීති වන්නාහ. මන්ද, ඔහු සමිඳාණන් වහන්සේ අබිමුවෙහි ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහු මිදියුස වත්, මත්පැන් වත් නොබොන්නේ ය. මව්කුස සිට ම ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වන්නේ ය. ඔහු ඉශ්රායෙල්වරුන් බොහෝ දෙනෙකු ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත හරවන්නේ ය. ඔහු මවුපියන් හා දරුවන් සමඟි කරවන පිණිස ද, නොදැමුණු ජනයන් දමිටුන්ගේ ප්‍රඥාවට හරවන පිණිස ද, සැදී පැහැදී සිටින සෙනඟක් සමිඳාණන් වහන්සේට සූදානම් කර දෙන පිණිස ද, එලියාගේ ආත්මානුභාවයෙන් හා බලයෙන් උන් වහන්සේට පෙරටුව යන්නේ ය”යි කී ය. එවිට සෙකරියස්, දේව දූතයා අමතමින්, “මා මෙ‍ය දැනගන්නේ කෙසේ ද? මම මහල්ලෙක්මි; මාගේ භාර්යාව ද වයස්ගත ව සිටී ය”යි කී ය. දේව දූතයා පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ අබිමුවෙහි සේවා කරන ගාබ්‍රියෙල් මම ය; මා එවන ලද්දේ ඔබ සමඟ කතා කරන්නටත්, මේ සුබ ආරංචිය ඔබට පවසන්නටත් ය. බලන්න. නියම කාලයෙහි ඉටුවන්න යන, මා කී දේ ඔබ අවිශ්වාස කළ බැවින්, මේ කාරණා සිදු වන දවස දක්වා ඔබ කතා කළ නොහැකි ව නිහඬ වනු ඇතැ”යි කී ය. සෙකරියස් එන තෙක් බලා සිටි සමූහයා ඔහු ශුද්ධස්ථානයෙහි පමා වීම ගැන මවිත වූ හ: ඔහු පිට වී ආ කල ඔවුන් සමඟ කතා කිරීමට අපොහොසත් විය. ඔහු පූජා ස්ථානයෙහි යම් කිසි දර්ශනයක් දක්නට ඇතැ යි ඔව්හු තේරුම්ගත්හ. ඔහු ද අතින් සංඥා කරමින් ගොළුගැහී සිටියේ ය. සේවා කාලය නිම වූ පසු ඔහු සිය නිවෙසට ගියේ ය. මඳ කලකට පසු ඔහුගේ බිරිඳ වන එලිසබෙත් ගැබ්ගෙන, පස් මසක් රහසිගත ව වෙසෙමින්, “ලෝකයා අතර පැවති මාගේ නින්දාව පහ කරනු වස් සමිඳාණන් වහන්සේ මෙ‍කල මා දෙස කරුණාවෙන් බලා මේ දේ කළ සේකැ”යි කීවා ය. සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ, දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය. දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, “විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කී ය. එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය. දේව දූතයා ඈට කතා කොට, “මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය. මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න. “උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කී ය. එවිට මරිය තුමී දේව දූතයාට කතා කොට, “මට පුරුෂයෙකු නැති බැවින් මෙ‍වැන්නක් කෙසේ විය හැකි දැ”යි ඇසුවා ය. දේව දූතයා ඈට උත්තර දෙමින්, “ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක. බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය. මක්නිසා ද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ”යි කීවේ ය. මරිය තුමී කතා කරමින්, “බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා”යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.