විලාප ගී 5

5
දයාව සඳහා යැදීමක්
1සමිඳුනි, අපට සිදු වී තිබෙන දේ සිහි කළ මැනව.
අපේ නින්දාව බලා සැලකුව මැනව.
2අපේ උරුමය අන්‍යයන්ටත්, අපේ ගෙවල් විදේශීන්ටත් අයිති වී තිබේ.
3අපි අනාථයෝ ය, පියා නැති දරුවෝ ය.
අපේ මවුවරු වැන්දඹුවන් මෙන් ය.
4අප අපේ ම වතුර මිල දී ගත යුතු ය.
අපේ ම දර අපට විකුණනු ලැබේ.
5වියගහ අපේ කර පිට ය.
මැරෙන තෙක් අපි වෙහෙසෙන්නෙමු.
එහෙත්, අපට සහනයක් නැත.
6සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු.
7අපේ පියවරු පව් කළෝ ය;
ඔව්හු දැන් නැත.
ඔවුන්ගේ අයුතුකම් නිසා අපි දුක් විඳිමු.
8වහල්ලු අප ආණ්ඩු කරති.
ඔවුන් අතින් අප ගළවාගන්නට කෙනෙක් නැත.
9පාළුකරයේ මිනීමරුවන් සැරිසරන බැවින් කෑම සෙවීමේ දී අපි අන්තරාවට මූණ පාමු.
10සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත් වී තිබේ.
11සියොන්හි ස්ත්‍රීහුත්, ජුදාහි නගරවල කන්‍යාවෝත් බලහත්කාරකම් කරනු ලැබූ හ.
12අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ.
වැඩිහිටි අය ගරු නොකරන ලදහ.
13වහලුන් මෙන් ධාන්‍ය ඇඹරීමට අපේ තරුණයෝ බල කරනු ලැබූ හ.
ළමයි දරමිටිවල බරින් යට වී වැටි වැටී යති.
14මහලු අය දොරටුවෙන් පහ ව ගියෝ ය.
යෞවනයෝ ගීතිකා කිරීමෙන් වැළකුණෝ ය.
15අපේ සිත්වලින් ප්‍රීතිය තුරන් විය.
අපේ නැටීම වැලපීමට පෙරළුණේ ය.
16අපේ හිසින් මල්දම් වැටුණේ ය.
අප පව් කළ බැවින් අනේ! අපට වන දුකක මහත!
17මේ නිසා අපේ සිත ක්ලාන්ත වී තිබේ.
මේ දේවල් නිසා අපේ ඇස් අඳුරු වී තිබේ.
18එසේ වන්නේ, සියොන් කන්ද පාළු වී තිබෙන බැවිනි.
සිවලුන් සැරිසරන බැවිනි.
19එහෙත් සමිඳුනි, ඔබ සදහට ම රජ ව සිටින සේක.
ඔබේ සිහසුන පරපුරෙන් පරපුරට පවත්නේ ය.
20මෙතෙක් කල් ඔබ අප අත් හළේ මන් ද?
කවර දා නමුත්, ඔබ අප යළි සිහි කරන සේක් ද?
21සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව.
අපේ පෙර වූ තේජස අපට යළි දුන මැනව.
22ඔබ අප සහමුලින් පහ කරදැමූ සේක් ද?
ඔබේ කෝපයට සීමාවක් නැද් ද?

දැනට තෝරාගෙන ඇත:

විලාප ගී 5: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න