ජෝෂුවා 6:15-21

ජෝෂුවා 6:15-21 SNRV

සත් වන දින අලුයම් වේලේ ඔව්හු නැඟිට එම ආකාරයෙන් ම සත්වරක් නුවර වටේට ගියෝ ය. ඔව්හු එදින පමණක් සත්වරක් නුවර වටේ ගමන් කළෝ ය. සත් වන වර පූජකවරුන් හොරණෑ පිම්බ කල ජෝෂුවා, “ඔල්වර හඬ නඟන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ හැමට නුවර දී තිබේ. නුවර හා එහි ඇති සියල්ල සමිඳාණන් වහන්සේ උදෙසා සහමුලින් ම විනාශයට නියම වන්නේ ය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය, අප යැවූ පණිවුඩකාරයන් සඟවා තැබූ බැවින් ඈ ද ඈ සමඟ ගෙදර සිටින සියල්ලෝ ද පමණක් විනාශ නොවන්නෝ ය. විනාශයට වෙන් කළ දෙයින් ඔබ වැළකී සිටිය යුතු ය: නැතහොත් වෙන් කළ පසු කැප වූ දෙයින් යමක් ඔබ ගත්තොත්, ඔබ ඉශ්රායෙල් කඳවුර පිට විනාශයක් පැමිණෙන්නට සලස්වා එය කලඹනු ඇත. රන් රිදී සියල්ල ද ලෝකඩ සහ යකඩ බඩු ද සමිඳාණන් වහන්සේට කැප ය. ඒවා සමිඳාණන් වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතු ය”යි කීවේ ය. එසේ පූජකවරු හොරණෑ පිම්බෝ ය; සෙනඟ ඔල්වර හඬ නැඟුවෝ ය: සෙනඟ හොරණෑ ශබ්දය අසා, මහා හඬකින් ඔල්වර හඬ පැවැත්වූවෝ ය. පවුර ඇද වැටිණි; සෙනඟ ද එකිනෙකා කෙළින් ම ඉදිරියට ගොස් නුවර අල්ලාගත්තෝ ය. ඔව්හු පුරුෂයන් හා ස්ත්‍රීන් ද බාලයන් හා මහල්ලන් ද ගවයන් ද බැටළුවන් ද කොටළුවන් ද යන නුවර සිටි සියල්ලන් කඩු පහරින් සහමුලින් ම විනාශ කරදැම්මෝ ය.

ජෝෂුවා 6:15-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය