ජෝෂුවා 4:1-9
ජෝෂුවා 4:1-9 SNRV
මුළු ඉශ්රායෙල් ජාතිය ජොර්දාන් ගඟින් එතෙර වී නිම වූ කල සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “නුඹ එක එක ගෝත්‍රයෙන් එක් කෙනෙකු බැගින් සෙනඟ අතරෙන් දොළොස්දෙනෙකු තෝරාගෙන, ඔවුන් අමතා, ‘ඔබ හැම ජොර්දාන් ගඟේ මැද පූජකවරුන් පා තබා සිටි තැනින් ගල් දොළොසක් රැගෙන, එතෙර ගෙන ගොස්, ඒවා ඔබ හැම අද රෑ නවාතැන් ගන්නා ස්ථානයෙහි තබන්න’ කියා අණ කරන්නැ”යි වදාළ සේක. එවිට ජෝෂුවා ඉශ්රායෙල්වරුන් අතරෙන් එක එක ගෝත්‍රයෙන් එක් කෙනෙකු බැගින් තෝරාගත් දොළොස්දෙනා කැඳවා, ඔවුන් අමතා, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් ඔබ ජොර්දාන් ගඟට ගොස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර අනුව එකිනෙකා ගලක් බැගින් රැගෙන කරේ ගෙන යන්න. මෙසේ කරන්නේ, ඒවා ඔබ අතරේ සිහිවටනයක් වන පිණිස ය. ‘මේ ගල් තිබෙන්නේ කුමට දැ’යි මතු කාලයේ දී ඔබේ දරුවන් අසන විට, ඔබ ඔවුන්ට කතා කොට, ‘සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ජොර්දාන් ගඟෙහි දිය බෙදී ගියේ ය; ඒ කරඬුව ගඟ හරහා වැඩමවාගෙන යන විට, ගඟේ දිය බෙදී ගිය නිසා, මේ ගල් ඉශ්රායෙල් ජනතාවට සදාකාල සිහිවටනයක් වන්නේ ය’යි කිව යුතු ය”යි දැන්වී ය. ඉශ්රායෙල් ජනතාව ජෝෂුවාගේ අණ පරිදි කළහ. සමිඳාණන් වහන්සේ ජෝෂුවාට වදාළ ලෙස ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල ගණන හැටියට, ජොර්දාන් ගඟ මැදින් ගල් දොළොසක් රැගෙන, තමන් සමඟ මෙතෙරට ගෙනැවිත් ඔවුන් නැවතුන ස්ථානයේ තැන්පත් කළහ. ජොර්දාන් ගඟ මැද ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් පය ගැසූ ස්ථානයෙහි ද ජෝෂුවා ගල් දොළොසක් තැබී ය. ඒවා අද දක්වා එහි තිබේ.

