ශුද්ධවර ජොහන් 8:31-58
ශුද්ධවර ජොහන් 8:31-58 SNRV
එබැවින්, තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම්, සැබැවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය; ඔබ සත්‍යය අවබෝධ කරගන්නහු ය; සත්‍යය ඔබ නිදහස් කරන්නේ ය”යි වදාළ සේක. ඔව්හු පිළිතුරු දෙමින්, “අපි ආබ්‍රහම්ගේ වංශයෙන් වම්හ; කිසි කලෙක කිසිවෙකුට අපි වහල් නොවීමු. එබැවින් ‘අප නිදහස් වනු ඇත’ කියා ඔබ කියන්නේ කෙසේ දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි. වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම්, ඔබ සැබැවින් ම නිදහස් ය. ඔබ ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන බව මම දනිමි. එසේ වුව ද, ඔබ තුළ මාගේ දහමට ඉඩක් නොවන බැවින් ඔබ මා මරන්නට සොයන්නහු ය. මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මා දුටු දේ මම පවසමි; ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක. “අපේ පියාණෝ ආබ්‍රහම් ය”යි ඔව්හු උන් වහන්සේට පිළිතුරු දුන්හ. උන් වහන්සේ ද, “ඔබ ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම් කළ ක්‍රියා ඔබත් කරනු ඇත. එසේ වුව ද, දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍යය ප්‍රකාශ කළ මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නහු ය. ආබ්‍රහම් නම් එසේ කෙළේ නැත. ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියා ය”යි වදාළ සේක. එවිට ඔව්හු; “අපි අවජාතක දරුවෝ නොවෙමු. අපට ඇත්තේ එක ම පියෙකි; එනම්, දෙවියන් වහන්සේ ම ය”යි කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද, මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි. මාගේ ම කැමැත්තෙන් මා පැමිණියා නොව, උන් වහන්සේ මා එවා වදාළ සේක. මා කියන දේ ඔබට අවබෝධ නොවන්නේ මන් ද? මාගේ දහම තේරුම් ගැනීමට ඔබ අපොහොසත් බැවිනි. ඔබේ පියා යක්ෂයා ය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම ය. මුල සිට ම ඔහු මිනීමරුවෙකි. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්, ඔහු සත්‍යයෙහි නොපිහිටියේ ය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන් ම කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියා ය. මා ඔබට සත්‍යය පවසන බැවින් ඔබ මා විශ්වාස නොකරන්නහු ය. පාපය ගැන මට විරුද්ධ ව චෝදනා කළ හැක්කේ ඔබ අතුරෙන් කවරෙකුට ද? මම සත්‍යය පවසන්නෙම් නම්, ඔබ මා විශ්වාස නොකරන්නේ මන් ද? දෙවියන් වහන්සේගෙන් පැවතෙන තැනැත්තේ දෙවියන් වහන්සේගේ වචන අසයි. ඔබ සවන් නොදෙන්නේ ඔබ දෙවියන් වහන්සේගෙන් නොවන බැවිනැ”යි වදාළ සේක. ජුදෙව්වරු උත්තර දෙමින්, “ඔබ සමාරියයෙකු බවත්, ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බවත් අප කියන විට එය ඇත්ත නොවේ දැ”යි ඇසූ හ. උන් වහන්සේ එයට පිළිතුරු දෙමින්, “මට දුෂ්ටාත්මයක් ආවේශ වී නැත. මා ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේට ය. එහෙත් ඔබ මට අගෞරව කරන්නහු ය. එසේ වුව ද, මම මාගේ ම ගෞරවය නොසොයමි. එය සොයන, විනිශ්චය කරන, කෙනෙක් සිටිති. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම්, ඔහු කිසි කලෙක මරණය නොදකින්නේ ය”යි වදාළ සේක. ජුදෙව්වරු කතා කරමින්, “ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බව දැන් අපි දනිමු. ආබ්‍රහම් මියගියේ ය; දිවැසිවරයෝ ද මියගියහ. එහෙත් ඔබ, ‘යමෙක් මාගේ ධර්මය පිළිගන්නේ නම්, ඔහු කිසි කලෙක නොමැරෙන්නේ ය’යි කියන්නෙහි ය. මියගියා වූ අපේ පිය වූ ආබ්‍රහම්ට වඩා ඔබ උතුම් ද? දිවැසිවරයෝ පවා මියගියහ. ඔබ කවරෙකු කියා සිතන්නෙහි දැ”යි ඇසූ හ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මම මට ම ගෞරව කරන්නේ නම්, මාගේ ගෞරවයෙහි වැදගැම්මක් නැත. මට ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේ ය. ඔබේ දෙවියන් වහන්සේ යයි ඔබ කියන්නේ උන් වහන්සේ ගැන ම ය. ඔබ උන් වහන්සේ නොහඳුනන්නහු ය. එහෙත් මම උන් වහන්සේ හඳුනමි. මම උන් වහන්සේ නොහඳුනමි යි කීවොත්, මමත් ඔබ හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. එහෙත් මම උන් වහන්සේ හඳුනමි; උන් වහන්සේගේ වචනය ද පිළිපදිමි. ඔබේ පිය වූ ආබ්‍රහම් මාගේ පැමිණීමේ දවස දැකීමට පුල පුලා සිටියේ ය. ඔහු එය දැක ප්‍රීති වී ය”යි වදාළ සේක. ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “තව ම වයස අවුරුදු පණහක් වත් නැති ඔබ ආබ්‍රහම් දුටුවේ කෙසේ දැ”යි ඇසූ හ. “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි”යි උන් වහන්සේ වදාළ සේක.





