ශුද්ධවර ජොහන් 7:10-17

ශුද්ධවර ජොහන් 7:10-17 SNRV

එහෙත්, තමන්ගේ සහෝදරයන් මංගල්‍යයට ගිය පසු, උන් වහන්සේ ද ප්‍රසිද්ධියේ නොව, රහසින් මංගල්‍යයට වැඩිය සේක. එකල ජුදෙව්වරු මංගල්‍යයේ දී උන් වහන්සේ සොය සොයා “ඔහු කොහේ දැ”යි විමසූ හ. සමූහයා අතර උන් වහන්සේ ගැන මහා කසුකුසුවක් ඇති විය. සමහරුන් “උන් වහන්සේ සත්පුරුෂයෙකැ”යි කී අතර, සමහරු, “එසේ නොවේ, ඔහු මහජනයා මුළා කරති”යි කී හ. එහෙත්, ජුදෙව්වරුන්ට බියෙන් කිසිවෙක් උන් වහන්සේ ගැන එළිපිට කතා නොකළහ. මංගල්‍යයේ මැද හරියේ දී ජේසුස් වහන්සේ දේව මාලිගාවට වැඩම කර අනුශාසනා කරන්නට පටන්ගත් සේක. ඒ ගැන ජුදෙව්වරු මවිත ව “කිසිකලෙක ඉගෙන නොගත් මේ මිනිසාට මේ සා උගත්කමක් කොයින් දැ”යි කී හ. එහෙයින් ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ ඉගැන්වීම මාගේ ම නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ ය. යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැ යි දැනගන්නේ ය.