ශුද්ධවර ජොහන් 19:23-26

ශුද්ධවර ජොහන් 19:23-26 SNRV

ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු, හේවායෝ උන් වහන්සේගේ වස්ත්‍ර ගෙන, එක හේවායෙකුට එක කොටසක් බැගින් කොටස් සතරකට බෙදාගත්හ. ඔව්හු උන් වහන්සේගේ සළුව ද ගත්හ. ඒ සළුවට මූට්ටුවක් නොදමා, උඩ සිට පහළට මුළුමනින් ම එකට වියා තිබිණි. එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි මෙය නොඉරා, කවරෙකුට වැටේ ද කියා දාදු දමා බලමු”යි කී හ. මෙසේ වූයේ: “මාගේ වස්ත්‍ර ඔව්හු තම තමන් අතර බෙදාගත්හ; මාගේ සළුව පිණිස දාදු දැමූ හ” යන ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස ය. එබැවින් හේවායෝ මෙසේ කළහ. ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝ ය. එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක.