ශුද්ධවර ජොහන් 15:8-20

ශුද්ධවර ජොහන් 15:8-20 SNRV

මාගේ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන්නේ, ඔබ බොහෝ සේ පල දරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන් ය. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් ම මම ද ඔබට ප්‍රේම කෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න. මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය. “මේ දේවල් මා ඔබට ප්‍රකාශ කෙළේ, මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇති වන පිණිසත්, ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත් ය. “මාගේ ආඥාව නම්: ‘මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි. යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය. මෙතැන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි; මන්ද, දාසයෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක් දැ යි නොදනියි. එහෙත්, මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල ම ඔබට දන්වා වදාළ බැවින්, මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි. ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය. මා ඔබට අණ කරන දේ මේ ය: එකිනෙකාට ප්‍රේම කරන්න.” “ලෝකයා ඔබට ද්වේෂ කරත් නම්, ඔබට පෙර මටත් ද්වේෂ කළ බව දැනගන්න. ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති. ‘දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවේ ය’යි මා ඔබට වදාළ වචනය සිහි කරන්න. ඔව්හු මට පීඩා කළෝ නම්, ඔබටත් පීඩා කරන්නෝ ය; මාගේ වචනය පිළිපැද්දෝ නම්, ඔබගේ වචනයත් පිළිපදින්නෝ ය.