ශුද්ධවර ජොහන් 13:5-17

ශුද්ධවර ජොහන් 13:5-17 SNRV

ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක. උන් වහන්සේ සීමොන් පේදුරු ළඟට ආ විට, “ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැ”යි ඔහු ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන්නේ කුමක් දැ යි ඔබ දැන් නොදන්නෙහි ය; එහෙත් පසුව ඔබට වැටහෙනු ඇතැ”යි වදාළ සේක. එවිට පේදුරු, “මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා ඔබ නොසේදුවොත් මා සමඟ සම්බන්ධකමක් ඔබට නැතැ”යි ඔහුට වදාළ සේක. එවිට සීමොන් පේදුරු, “ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත් ද හිස ද සේදුව මැනවැ”යි කී ය. ජේසුස් වහන්සේ ද, “ස්නානය කළ තැනැත්තේ මුළුමනින් ම පවිත්‍ර ය; පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්න වුවමනා නැත. ඔබ ද පවිත්‍ර ය; එහෙත් හැම කෙනෙක් ම එසේ නොවෙති”යි වදාළ සේක. “හැම කෙනෙක් ම පවිත්‍ර නොවෙති”යි උන් වහන්සේ වදාළේ, තමන් පාවා දෙන්නා කවරෙක් දැ යි දැන සිටි බැවිනි. මෙසේ උන් වහන්සේ ඔවුන්ගේ පාද සෝදා, තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල, ඔවුන්ට මෙසේ වදාළ සේක: “මා ඔබට කළ දේ කිමෙක් දැ යි ඔබ දන්නහු ද? ‘ගුරුදේවයෙනි’, ‘ස්වාමීනි’ කියා ඔබ මා අමතන්නහු ය. එසේ කීම හරි ය; මම එසේ ම වෙමි. ඔබේ ස්වාමීන් ද ගුරුදේවයන් ද වන මම ඔබේ පාද සේදුවෙම් නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය. මා ඔබට, කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන් ම, යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ. ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය.