වීරාවලිය 10

10
තෝලා සහ ජායිර්
1අබිමෙලෙක්ට පසුව ඉස්සාකර් වැසියෙකු වූ දෝදෝගේ පුත්‍රයා වූ පුවාගේ පුත් තෝලා ඉශ්රායෙල්වරුන් ගළවන්නට ඉදිරිපත් වුණේ ය. ඔහු එප්‍රායිම් කඳු රටේ වූ ෂාමීර්හි වාසය කෙළේ ය. 2ඔහු විසිතුන් අවුරුද්දක් වීරයෙකු මෙන් ඉශ්රායෙල් පාලනය කොට, නැසී, ෂාමීර්හි තැන්පත් කරනු ලැබී ය.
3ඔහුට පසු ගිලියද් වැසියෙකු වූ ජායිර් ඉදිරිපත් වී විසි දෑවුරුද්දක් වීරයෙකු මෙන් ඉශ්රායෙල් පාලනය කෙළේ ය. 4ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් වූවෝ ය. ඔවුන්ට ගිලියද් දේශයෙහි නගර තිහක් ද තිබුණේ ය. ඒවාට හවොත්-ජායිර් කියා අද දවස දක්වා කියනු ලැබේ. 5ජායිර් ද නැසී කාමොන්හි තැන්පත් කරනු ලැබී ය.
ඉශ්රායෙල්වරුන්ට පීඩා කිරීම
6ඉශ්රායෙල් ජනයා නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කොට, බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවිටත්, සිරියාවේ දෙවිවරුන්ටත්, සීදොන්හි දෙවිවරුන්ටත්, මෝවබ්හි දෙවිවරුන්ටත්, අම්මොන්වරුන්ගේ දෙවිවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කළෝ ය; සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් නොකොට උන් වහන්සේ අත් හැරියෝ ය. 7සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට ද අම්මොන්වරුන්ගේ අතට ද පාවා දුන් සේක. 8ඔවුන් ඒ අවුරුද්දේ පටන් දසඅට අවුරුද්දක් ජොර්දානෙන් එගොඩ ගිලියද්හි තිබෙන අමෝරිවරුන්ගේ දේශයේ සිටි සියලු ඉශ්රායෙල් ජනයාට පීඩා කොට ඔවුන් මැඬලුවෝ ය. 9තවද, අම්මොන්හි සෙනඟ ජුදා ගෝත්‍රයටත්, බෙන්ජමින් ගෝත්‍රයටත්, එප්‍රායිම් ගෝත්‍රයටත් විරුද්ධ ව යුද්ධ කරන පිණිස ජොර්දානෙන් මෙගොඩට ආවෝ ය. මෙසේ ඉශ්රායෙල් සෙනඟ බරපතල අමාරුවකට පත් වූ හ.
10එවිට ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගසා, “අපි අපේ දෙවියන් වහන්සේ අත්හැර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමෙන් ඔබ වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු”යි කීවෝ ය.
11සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, “මිසරවරුන්ගෙන් ද අමෝරිවරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද මම නුඹලා ගළවා නොගතිම් ද? 12සීදොන්වරුන් සහ අමලෙක්වරුන් ද මායොන්වරුන් ද නුඹලාට පීඩා කළ විට, නුඹලා මට මොරගැසූ කල්හි ඔවුන්ගේ අතිනුත් මම නුඹලා ගැළෙවුවෙමි. 13එහෙත්, නුඹලා මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළහු ය. එබැවින් දැන් මම නුඹලා නොගළවන්නෙමි. 14නුඹලා තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න. ඔව්හු නුඹලාගේ විපත්ති කාලයේ දී නුඹලා ගළවත්වා”යි වදාළ සේක.
15ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට කතා කොට, “අපි පව් කෙළෙමු. ඔබ වහන්සේට සුදුසු යැයි පෙනෙන දෙයක් අපට කළ මැනව. එහෙත්, මේ වතාවේ අප ගැළෙවුව මැනවැ”යි කීවෝ ය. 16එවිට ඔව්හු අන් දෙවිවරුන් තමන් කෙරෙන් පහ කර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ කාලකණ්ණිකම ගැන ශෝක වූ සේක.
17එකල අම්මොන් ජනයා රැස් ව ගිලියද්හි කඳවුරු බැඳගත්තෝ ය. ඉශ්රායෙල් ජනයා රැස් වී මිශ්පාහි කඳවුරු බැඳගත්තෝ ය. 18එවිට සෙනඟ හා ගිලියද්හි අධිපතියෝ එකිනෙකාට කතා කරමින්, “අම්මොන් සෙනඟට විරුද්ධ ව සටන් කරන්නට පටන්ගන්න මිනිසා කවරෙක් ද? ඔහු ගිලියද්හි සියලු වැසියන් කෙරෙහි ප්‍රධානියා කරන්නෙමු”යි කී හ.

දැනට තෝරාගෙන ඇත:

වීරාවලිය 10: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න