වීරාවලිය 1:27-36

වීරාවලිය 1:27-36 SNRV

මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නගරවල වැසියන් වත්, තයනාක් හා ඊට අයිති නගරවල වැසියන් වත්, දෝර් සහ ඊට අයිති නගරවල වැසියන් වත්, ඉබ්ලෙයාම් හා ඊට අයිති නගරවල වැසියන් වත්, මෙගිද්දෝ හා ඊට අයිති නගරවල වැසියන් වත් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඒ රටේ ම වාසය කළෝ ය. ඉශ්රායෙල්වරුන් බලවත් වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යෙදෙව්වෝ ය. එහෙත් ඔවුන් සහමුලින් ම පන්නා නොදැමුවෝ ය. එප්‍රායිම්ගේ ගෝත්‍රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය. සාබුලොන්ගේ ගෝත්‍රයේ සෙනඟ කිත්‍රොන් වැසියන් ද නහලොල් වැසියන් ද පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කරමින් බර වැඩට යටත් වූ හ. ආෂෙර් ගෝත්‍රයේ වැසියෝ අක්කෝහිත්, සීදොන්හිත්, අහ්ලාබ්හිත්, අක්ශිබ්හිත්, හෙල්බාහිත්, අපෙක්හිත්, රෙහොබ්හිත් වැසියන් පන්නා නොදැමුවෝ ය. ආෂෙර්වරු ඒ දේශවාසි වූ කානානිවරුන් සමඟ වාසය කළෝ ය. ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝ ය. නප්තලී ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙමෙෂ්හි වැසියන් වත්, බෙත්-අනාත්හි වැසියන් වත් පන්නා නොදමා, රටේ වැසියන් වූ කානානිවරුන් අතරේ වාසය කළෝ ය. එසේ වුවත්, බෙත්-ෂෙමෙෂ්හි ද බෙත්-අනාත්හි ද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත් වුණෝ ය. අමෝරිවරු දාන්ගේ ගෝත්‍රයේ සෙනඟට මිටියාවතට බසින්නට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝ ය. අමෝරිවරු හෙරෙස් කන්දේ ද අයාලෝන්හි ද ෂාල්බිම්හි ද වාසය කළෝ ය. එසේ වුවත්, ජෝසෙප්ගේ ගෝත්‍ර බලවත් වූ පසු අමෝරිවරු බර වැඩට යටත් වුණෝ ය. අමෝරිවරුන්ගේ දේශ සීමාව අක්‍රබ්බිම් නැඟුමේ පටන් පර්වතයේ ඉහළට පිහිටියේ ය.

වීරාවලිය 1:27-36 සඳහා වීඩියෝව

වීරාවලිය 1:27-36 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය