ජාකොබ් 2:16-26

ජාකොබ් 2:16-26 SNRV

ඔබගෙන් යමෙක් ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සපයා නොදී: “ඔබට දෙවි පිහිට යි, උණුසුමට ඇඳ පැළඳ, කා බී සතුටු වන්නැ”යි ඔවුන්ට කියන්නේ නම්, එයින් මොන යහපතක් ද? ඇදහිල්ල ගැන කිය යුත්තේත් එය ම යි. ක්‍රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලකි. “ඔබට ඇත්තේ ඇදහිල්ල ය, මට ඇත්තේ යහපත් ක්‍රියා ය. හොඳයි, ඔබ ක්‍රියා නැති ව ඔබේ ඇදහිල්ල පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වමි”යි කියන්නට යමෙකුට පුළුවන්කම තිබෙනවා විය හැකි ය. ඇත්තේ එක ම දෙවි කෙනෙකු බව ඔබ අදහන්නෙහි ය; එය කදිම යි. දුෂ්ටාත්මයෝත් එසේ අදහා බියෙන් වෙවුලති. අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල නිෂ්ඵල බව ඔබ නොදන්නෙහි ද? අපේ පිය වූ ආබ්‍රහම් සිය පුත් ඊසාක් පූජාසනය පිට ඔප්පු කළ විට, ඔහු දමිටුකමට පමුණුවනු ලැබුවේ ඔහුගේ යහපත් ක්‍රියා නිසා නොවේ ද? ඇදහිල්ල, ඔහුගේ යහපත් ක්‍රියා හා සමඟ එක් ව ක්‍රියා කළ බවත්, ඇදහිල්ල ක්‍රියා නිසා සම්පූර්ණ වූ බවත් ඔබට පෙනෙනු ඇත. මෙසේ: “ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහාගත්තේ ය. ඒ ඇදහිල්ල ඔහුගේ දමිටුකම හැටියට පිළිගනු ලැබී ය”යි කියන ශුද්ධ ලියවිල්ල ඉටු විය. එපමණකුත් නොව, ඔහු දෙවියන් වහන්සේගේ මිත්‍රයා යයි කියනු ලැබී ය. මනුෂ්‍යයෙකු දමිටුකමට පමුණුවනු ලබන්නේ ක්‍රියාවලින් බවත්, ඇදහිල්ලෙන් පමණක් නොවන බවත්, ඔබට පෙනෙනු ඇත. රාහාබ් වෙසඟනක වුව ද, දූතයන් පිළිගෙන අන් මඟකින් යාමට ඔවුන්ට පිහිට වූ බැවින්, ඈ දමිටුකමට පමුණුවනු ලැබුවේ ඒ ක්‍රියාවලින් නොවේ ද? හුස්ම නැති සිරුර මළසිරුරක් වන සේ ම ක්‍රියා නැති ඇදහිල්ල මළ ඇදහිල්ලකි.