යෙසායා 51:12-16

යෙසායා 51:12-16 SNRV

සමිඳාණෝ මෙසේ වදාරන සේක. “නුඹලා සනසන්නේ මම ය. මැරී යන තණ මෙන් පහ ව යන මිහි පිට මිනිසාට නුඹ බිය විය යුත්තේ කුමකට ද? අහස විහිදුවා පොළොවේ අත්තිවාරම දැමූ නුඹලාගේ මැවුම්කාරයා අමතක කළහු ද? නුඹලා විනාශ කිරීමට අරමුණු කරගත් පීඩා කරන්නන්ගේ කෝපය නිසා නුඹලා දවස මුළුල්ලේ ම වෙවුළන්නේ කුමට ද? පීඩා කරන්නන්ගේ කෝපයෙන් නුඹලාට කිසි හානියක් නොවන්නේ ය. රටින් පිටුවහල් වී සිටින්නෝ ඉක්මනට මුදනු ලබන්නෝ ය. ඔවුන් පාතාල ලෝකයට වැටෙන්නේ වත්, ඔවුන්ට ආහාර හිඟවන්නේ වත් නැත. මම නුඹලාගේ දෙවි සමිඳාණෝ ය. මුහුද කළඹා එහි රළ පතර ඝෝෂා කරන්න සලස්වන්නේ මම ය. මාගේ නම සව් බලැති සමිඳාණෝ ය. අහස විහිදුවා, පොළොවේ අත්තිවාරම් දැමුවේ මම ය. මම සියොන් අමතා, ‘නුඹලා මාගේ සෙනඟ ය; නුඹලාට මාගේ ඉගැන්වීම දිනිමි; මාගේ හස්තයෙන් නුඹලා ආරක්ෂා කරන්නෙමි’යි කීමි.”