යෙසායා 22:1-14

යෙසායා 22:1-14 SNRV

දර්ශන මිටියාවත පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: වැරදී ඇත්තේ කුමක් ද? නගරයේ සියලු සෙනඟ පියසි උඩට නැඟී උත්සව පවත්වන්නේ මන් ද? මුළු නගරය ඔල්වර හඬින් ද ඝෝෂාවෙන් ද කලබලයෙන් ද පිරී ඇත. මේ යුද්ධයේ දී මැරුම් කෑ අය මැරුණේ කඩුවෙන් හෝ සටනේ දී හෝ නොවේ. නුඹලාගේ නායකයෝ සියල්ලෝ ම පලා ගියහ. ඔව්හු එක ඊතලයක් වත් විදින්න පෙර අල්ලාගනු ලැබූ හ. එඩිතර ම අය දුර පලා ගිය නමුත්, සියල්ලෝ ම සිරකරුවන් මෙන් අල්ලාගන්නා ලදහ. මාගේ සෙනඟ මෙපමණ ගණනක් විනාශ වී ඇති බැවින් දැන් මට තනි ව ම හඬා වැලපෙන්න ඉඩ හරින්න. මා සනසන්න උත්සාහ නොකරන්න. මේ වනාහි සව් බලැති මහෝත්තම දෙවි ස්වාමීන් විසින් අප පිට පමුණුවන ලද දර්ශන මිටියාවතෙහි කැළඹීම් ද පරාජය ද වියවුල් ද ඇති වන කාලයක් ය. නගරයේ පවුරු බිඳදමා ඇත. පිහිට පතා මොරගැසීම් දෝංකාරය කඳු අතරින් ඇසේ. ඒලාම් රටේ හේවායෝ දුනු හී ඇති ව, රථ හා අසුන් පිට නැඟී ආහ. කීර් රටේ හේවායෝ තමන්ගේ පලිස් සූදානම් කරගත්හ. ජුදාවේ ඉතා සාරවත් මිටියාවත් යුද්ධ රථවලින් පිරී තිබිණි. අසරුවෝ ජෙරුසලමේ දොරටුව ඉදිරියෙහි සිටියහ. ජුදාවේ බලකොටු සියල්ල වැටිණි. එසේ වූ විට නුඹලා ‘ආරණ්‍ය ගෘහය’ නම් ගබඩාවෙන් අවි ආයුධ ගෙනාවහු ය. ජෙරුසලමේ පවුරු කැඩී බිඳී තිබූ තැන් නුඹලා සටහන් කරගත්තහු ය. පහළ පොකුණෙන් වතුර රැස් කරගත්තහු ය. නුඹලා ජෙරුසලමේ තිබූ සියලු ගෙවල් ගණන් කොට නගරයේ පවුරු අලුත් වැඩියා කිරීමට ඒ ගෙවල් සමහරකින් ගල් ලබාගන්න පිණිස ඒවා බිඳදැමුවහු ය. පරණ පොකුණෙන් ගලා එන වතුර රඳවා ගැනීමට නුඹලා බිත්ති දෙක අතර ජලාශයක් තනාගත්තහු ය. එහෙත්, නුඹලා මේ සියල්ල මීට බොහෝ කලකට පෙර සකස්කර, ඒ අයුරින් සිදු වන්න සැලැස්වූ දෙවියන් වහන්සේ සැලකුවේ නැත. ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක. ඒ වෙනුවට නුඹලා ප්‍රීති සන්තෝෂ වූවහු ය. කෑම සඳහා ගව බැටළු සතුන් මරා, මිදියුස පානය කළහු ය. “අපි කමු, බොමු. මන්ද, හෙට අපි මැරෙන්නෙමු”යි නුඹලා කීවහු ය. සව් බලැති දෙවි සමිඳාණෝ මට කතා කොට, “ජීවිතාන්තය දක්වා නුඹේ මේ අපරාධ කමා නොකරන බව සව් බලැති දෙවි සමිඳාණන් වන මම නුඹලාට කියමි”යි වදාළ සේක.