යෙසායා 19

19
මිසරය දඬුවම් කරනු ලැබීම
1 # ජෙර 46:2-26; එසකි 29:1—32:32 මිසරය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය:
සමිඳාණෝ ශීඝ්‍ර වලාකුළක් පිට නැඟී මිසර දේශයට වඩින සේක.
මිසරයේ දේවතා රූප එතුමන් ඉදිරියෙහි චංචල වන්නේ ය.
එහි සෙනඟ අධෛර්යයට පත් වන්නෝ ය.
2සමිඳාණෝ මෙසේ වදාරන සේක:
“මම මිසර දේශය තුළම රටවැසියන් අතර ම යුද්ධයක් හටගන්වන්නෙමි.
එකිනෙකා තම තමාගේ සහෝදරයාටත්, තම තමාගේ අසල්වැසියාටත් විරුද්ධ ව පොළඹවන්නෙමි.
නුවරක් නුවරකටත්, රජෙකු රජෙකුටත් විරුද්ධ ව සටන් කරනු ඇත.
3මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි;
ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි.
ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත;
මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.
4මම මිසරවරුන් කෲර පාලකයෙකුගේ අතට පාවා දෙන්නෙමි;
නපුරු රජෙකු ඔවුන් කෙරෙහි රජකම් කරනු ඇත.
මෙසේ වදාරන්නේ සව් බලැති සමිඳුන් වන මම ය.”
5නයිල් ගඟේ ජලය සිඳී, ක්‍රමයෙන් වියළී යන්නේ ය.
6ඒ ගංගාවේ අතු ගංගා සිඳී වියළී යන අතර දුගඳ හමනු ඇත;
බට ගස් ද පන් ගස් ද මැලවී යයි.
7නයිල් ගං තෙරේ තිබෙන පැළෑටි ද ගඟ අසබඩ වපුරන සියල්ල ද වේළී වැනසී යන්නේ ය.
8නයිල් ගඟේ මසුන් අල්ලන්නෝ සුසුම් ලන්නෝ ය;
එහි බිළී බාන්නෝ වැලපෙන්නෝ ය;
දැල් හෙළන්නෝ විලාප කියන්නෝ ය.
9හණ පීරන්නෝ ද හෙළ පුළුන් ගෙන රෙදි වියන්නෝ ද කලකිරෙන්නෝ ය;
10රෙදි වියන්නෝ ද වියවුල් වන්නෝ ය;
දක්ෂ ශිල්පීහු ද ඉමහත් ශෝකයට පත් වන්නෝ ය.
11ශොවන් නගරයේ අධිපතීහු අන්ත මෝඩයෝ ය.
මිසරයේ නැණවත් උපදේශකයෝ අමන උපදෙස් දෙති.
පුරාණ පණ්ඩිතයන්ගෙන් ද රජවරුන්ගෙන් ද තමන් පැවත එති යි ඔවුන් රජතුමාට කියන්නේ කෙසේ ද?
12මිසරයේ රජතුමෙනි, ඔබේ දක්ෂ උපදේශකයෝ කොහේ ද?
සමහර විට සව් බලැති සමිඳුන් මිසරයට විරුද්ධ ව අදහස් කර ඇති දේ ඔබට දන්වන්නට ඔවුන්ට හැකි වනු ඇත.
13ශොවන් හා මෙම්පිස් නගරවල අධිපතියෝ අඥානයෝ ය.
තමන් ජාතියට මඟ පෙන්වනු ඇතැ යි සිතූ ඔවුන් ජාතිය නොමඟ යවා ඇත.
14සමිඳුන් ඔවුන් වියවුල් කරවන ව්‍යාකූලත්වයක් නගරය තුළ බිහිකර ඇත.
ඒ හේතුවෙන් මිසරය හැම වැරදි දෙයක් ම කරයි.
සුරා සොඬෙකු තමාගේ ම වමනය මත ලිස්සා යන්නාක් මෙන් මිසරය ඒ මේ අත වැනි වැනී යයි,
15මිසරයේ සිටින දුප්පත් පොහොසත්, උසස් පහත් කිසිවෙකුට උපකාර දීමට එයට නොහැකි ය.
මිසරය දෙවිඳුන් වෙත හැරීම
16සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න අත ඔසවා ඇති බව ඔවුන් දුටු විට, මිසරයේ සෙනඟ ස්ත්‍රියක මෙන් බයාදුකමින් තැති ගැනී වෙවුළන්නෝ ය. 17සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කර ඇති නියමය ඔවුන්ට සිහිකර දෙන හැම වේලේ ම ජුදා දේශය ඔවුන්ට භීතියක් වන්නේ ය.
18ඒ දවස පැමිණි විට හෙබ්‍රේව් භාෂාව මිසරයේ නගර පහක ව්‍යවහාර කරනු ලැබේ. එහි සිටින සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දෙනු ඇත. එක නගරයක් ‘සූර්ය නගරය’ යයි කියනු ලබන්නේ ය.
19ඒ දවස පැමිණි විට සමිඳාණන් වහන්සේට මිසරයේ පූජාසනයක් ද එහි සීමාව ළඟ ගල් කණුවක් ද පිහිටුවනු ලබන්නේ ය. 20සියලු බලැති සමිඳාණන් වහන්සේ මිසරයේ වැඩ සිටින බවට ඒවා සලකුණු වන්නේ ය. එහි සිටින සෙනඟ පීඩා කරනු ලබන කල, ඔවුන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කළ විට, උන් වහන්සේ ඔවුන් ගළවන පිණිස කෙනෙකු ඔවුන් වෙත එවන සේක. 21සමිඳාණන් වහන්සේ මිසරයේ සෙනඟට ප්‍රකාශ වන සේක. එසේ කළ විට ඔව්හු උන් වහන්සේ පිළිගෙන පුද පූජා උන් වහන්සේ වෙත ගෙන අවුත් නමස්කාර කරන්නෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේට පොරොන්දු දී ඒවා ඉෂ්ට කරන්නෝ ය. 22සමිඳාණන් වහන්සේ මිසරයේ සෙනඟට දඬුවම් දෙන සේක; දඬුවම් කර සුව කරන සේක. ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හැරෙනු ඇත. උන් වහන්සේ ද ඔවුන්ගේ කන්නලවු පිළිගෙන ඔවුන් සුවපත් කරනු ඇත.
23ඒ දවස පැමිණි විට මිසරයේ සිට අසිරියාව දක්වා මහා මාවතක් වන්නේ ය. එහි සිටින සෙනඟ මේ දෙරට අතරේ ඔබමොබ ගමන් කරනු ඇත. මිසරවරුන් ද අසිරියන්වරුන් ද එකට නමස්කාර කරනු ඇත. 24ඒ දවස පැමිණි විට ඉශ්රායෙල් දේශය මිසරය හා අසිරියාව සමඟ උරෙන් උර ගැටෙන්නේ ය. ඒ ජාති තුන ම මුළු ලොවට ආශීර්වාදයක් වන්නෝය. 25සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට ආශීර්වාද කොට, “මාගේ සෙනඟ වන මිසරයටත්, මාගේ මැවිල්ල වන අසිරියාවටත්, මාගේ තෝරාගත් සෙනඟ වන ඉශ්රායෙල්ටත් මම ආශීර්වාද කරන්නෙමි”යි කියන සේක.

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 19: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න