සමිඳාණන් වහන්සේ නෝවාට කතා කොට, “නුඹ ද, නුඹේ මුළු පවුල ද නැවට ඇතුළු වෙන්න; මන්ද, මිනිසුන් අතර නුඹ පමණක් මා ඉදිරියෙහි දැහැමි බව මම දුටුවෙමි. තවද, නන් වැදෑරුම් සත්ත්ව වර්ග පොළෝ තලයෙහි නොකඩව බෝ වන පිණිස සියලු පවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද සියලු අපවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුවක් බැගින් ද ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන යන්න. තව හත් දවසකින් පොළොව මත දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් වැසි වස්වන්නෙමි. මෙලෙස මා මැවූ ජීවමාන සියල්ලක් ම පොළෝ තලයෙන් ඉවත් කරදමන්නෙමි”යි වදාළ සේක. නෝවා ද සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ඉටු කෙළේ ය. පොළොව මත ජලගැල්ම පැතිරෙන විට නෝවාට වයස අවුරුදු හයසියයක් විය. ජලගැල්මෙන් බේරීමට නෝවා, සිය පුතුන් ද භාර්යාව ද පුතුන්ගේ භාර්යාවන් ද කැටුව නැවට ඇතුළු විය. පවිත්‍ර සතුන්ගෙන් ද අපවිත්‍ර සතුන්ගෙන් ද පක්ෂීන්ගෙන් ද උරගයන්ගෙන් ද ගැහැණු-පිරිමි සත්තු ජෝඩුව බැගින් දෙවියන් වහන්සේ නෝවාට අණ කළ ලෙස නෝවා සමඟ නැවට ඇතුළු වූ හ. සත් දවසකට පසු මිහි පිට ජලගැල්ම ඇති විය. නෝවාට වයස අවුරුදු හයසියයේ දී, දෙ වන මාසයේ හරියට ම දාහත් වන දින මහා සමුද්‍රයේ සියලු උල්පත් බිඳී ජලය ගලා ගියේ ය; අහසේ කවුළු විවෘත විය. දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් තිස්සේ පොළොව පිට වැසි වැස්සේ ය. ඒ දවසෙහි ම නෝවා ද ඔහුගේ භාර්යාව ද ෂෙම්, හාම් හා ජපෙත් යන පුත්තු තිදෙනා ද ඔවුන්ගේ භාර්යාවෝ ද නැවට ඇතුළු වූ හ. ඔවුන් සමඟ සෑම වර්ගයේ වන මෘගයෝ ද ගවමහිෂයෝ ද උරගයෝ ද පක්ෂීහු ද පියාපත් සහිත සත්තු ද නැවට ඇතුළු වූ හ. සප්‍රාණික සියලු සත්තු, ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුව බැගින් නැවට ඇතුළු වූ හ. දෙවියන් වහන්සේ ඔහුට අණ කළ ලෙස සියලු සත්තු ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුව බැගින් ඔහු සමඟ නැවට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ නෝවා නැවට ඇතුළු කොට දොර වැසූ සේක.
උත්පත්ති 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 7:1-16
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ