උත්පත්ති 42:18-24

උත්පත්ති 42:18-24 SNRV

තුන් වන දින ජෝසෙප් ඔවුන්ට කතා කොට, “මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇත්තෙක්මි. එබැවින් නුඹලා පණ බේරාගන්න කැමැති නම් මෙසේ කරන්න; නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න. එහෙත්, බාල ම සහෝදරයා මා වෙත ගෙනා යුතු ය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නහු ය”යි කී ය. ඔව්හු ද ඊට එකඟ වූ හ. ඉන්පසු ඔව්හු එකිනෙකා අමතමින්, “අපි ඇත්තෙන් ම අපගේ සහෝදරයාට කළ දේ ගැන වරදකරුවෝ වෙමු. ඒ මන්ද, ඔහු අපට කන්නලව් කරද්දී ඔහුගේ වේදනාව දැක දැකත්, අපි ඇහුම්කන් නුදුන්නෙමු. මේ විපත අපට පැමිණියේ ඒ නිසා ම ය”යි කීවෝ ය. එවිට රූබන් පිළිතුරු දෙමින්, “ ‘ළමයාට විරුද්ධ ව පව් නොකරන්න,’ කියා මා ඔබට කීවා නොවේ ද? එහෙත්, ඔබ ඇහුම්කන් නුදුන්නහු ය. එබැවින්, මෙන්න, ඔහුගේ ලේ ගැන අප දැන් වන්දි ගෙවිය යුතු ය”යි කී ය. ඔවුන් කී දේ ජෝසෙප් තේරුම් ගත් බව ඔව්හු දැන නොගත්හ. මන්ද, ඔහු ඔවුන්ට කතා කෙළේ තෝල්කයෙකු මඟින් බැවිනි. ඔහු ද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬී ය. පසුව යළි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමඟ කතා කොට, ඔවුන් අතරෙන් සිමියොන් රැගෙන, ඔවුන් ඉදිරිපිට ම ඔහු බැන්දේ ය.