උත්පත්ති 41:37-44

උත්පත්ති 41:37-44 SNRV

ඔහුගේ යෝජනාව පාරාවෝට ද ඔහුගේ නිලධාරීන් සියල්ලන්ට ද සතුටුදායක විය. එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය. මෙසේ විචාරා, ඔහු ජෝසෙප්ට කතා කොට, “දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබට පෙන්වා වදාළ හෙයින් ඔබ වැනි බුද්ධිමත්, දක්ෂ විචක්ෂණ තව කෙනෙක් නම් නැත. මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි. බලන්න, මුළු මිසර දේශාධිපති කොට මම ඔබ පත් කරමි”යි කියා, ඔහු තම ඇඟිල්ලෙන් පේරැස් මුදුව ගලවා, ජෝසෙප්ගේ ඇඟිල්ලෙහි දමා, අගනා සිනිඳු වස්ත්‍ර ඔහුට හඳවා, ඔහු ගෙල රන් මාලයක් පැළඳ විය. පසුව පාරාවෝ තමා සතු දෙ වන රාජකීය රථයේ ඔහු නංවාලී ය. රාජකීය මුර බළ ඇණිය, “දණ නමව්” කියා කෑගසමින් පෙරටුව ගියහ. මෙසේ පාරාවෝ මුළු මිසර දේශාධිපති කොට ඔහු පත් කෙළේ ය. තවද, ඔහු ජෝසෙප් අමතමින්, “මම පාරාවෝ වෙමි, එහෙත් ඔබේ අවසරය නැති ව, මුළු මිසර දේශයෙහි කිසිවෙකු අත වත්, පය වත් නොසෙල්විය යුතු ය”යි කීවේ ය.

මෙයට අදාළ වීඩියෝ