උත්පත්ති 3:5-13

උත්පත්ති 3:5-13 SNRV

ඔබ ඒ ගසේ ගෙඩි කන දවසේ දී ඔබ‍‍ගේ ඇස් පෑදී, දෙවියන් හා සමාන වී, ඔබත් හොඳ-නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළ සේකැ”යි කී ය. ස්ත්‍රිය ද ගස පෙනුමට කෙතරම් රමණීය ද පල කෙතරම් ප්‍රණීත ද නුවණ වැඩුමට කෙතරම් කදිම ද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවා ය. තමා සමඟ සිටි සිය සැමියාට ද ඉන් සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය. එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් පෑදී තමන් නග්න ව සිටි බව ඔව්හු තේරුම්ගත්හ. එබැවින් ඔව්හු අත්තික්කා කොළ එකට මසා ඉණ වැසුම් සාදාගත්හ. ඉක්බිති එදින සිසිල් සුළං හමන සැඳෑ සමයෙහි දෙවි සමිඳාණන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන් වහන්සේගෙන් සැඟවුණාහ. එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, “නුඹ කොහේ දැ”යි ඇසූ සේක. “ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය. එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක. ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි”යි පැවසී ය. එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, “නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. “සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය.