උත්පත්ති 3:15-20

උත්පත්ති 3:15-20 SNRV

තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.” උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය. එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.” තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක: “භාර්යාවගේ වචනයට සවන් දී, ‘නොකෑ යුතු ය’යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේ වා! දිවි ඇති තාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබාගන්නෙහි ය; පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැලෑටි ද උපදින්නේ ය, නුඹට වනයේ පලා කන්නට සිදු වන්නේ ය. භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දූවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.” මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි.