ගලාති 3:7-14

ගලාති 3:7-14 SNRV

එබැවින් ආබ්‍රහම්ගේ සැබෑ පුත්‍රයෝ ඇදහිල්ල ඇති අය වෙති. තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරණකොටගෙන විජාතීන් දමිටු බවට පත් කරන බව ශුද්ධ ලියවිල්ල කල්මත්තෙන් දැක, “ඔබ තුළ සියලු ම ජාතීහු ආශීර්වාද ලබන්නෝ ය” කියා සුබ අස්න කලින් ආබ්‍රහම්ට ප්‍රකාශ කළේ ය. මෙසේ ඇදහිල්ලෙහි පිහිටි සියල්ලෝ ඇදහිල්ලේ පිහිටි ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති. අනෙක් අතට, ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තබන්නෝ සාපයට යටත් ව සිටිති. එසේ වන්නේ: “ව්‍යවස්ථාව පොතෙහි ලියා ඇති සියල්ල ම නොකඩවා නොරකින සියලු දෙනාට ම සාපයක් ඇතැ”යි ලියා තිබෙන බැවිනි. ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙකු දමිටු බවට පත් කරනු නොලබන බව එයින් පැහැදිලි ය. මන්ද, ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවත් වන්නෝ ය. ව්‍යවස්ථාව ඇදහිල්ල පිට රඳා පවතින්නක් නොවේ. එහෙත් ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේ ය කියා ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත. “ගසක එල්ලනු ලබන සියල්ලෝ සාප ලද්දෝ ය”යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ, ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක. මෙසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් ආබ්‍රහම් ලත් ආශීර්වාදය අන්‍ය විජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන් වහන්සේගේ පොරොන්දුව අප විසින් ලබාගන්නා පිණිසත් ය.