එසකියෙල් 11

11
දුෂ්ට මූලිකයන්ගේ විනාශය
1දේවාත්මානුභාවය මා ඔසවාගෙන ගොස් නැගෙනහිර දෙසට තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නැගෙනහිර දොරටුවට මා පැමිණෙව්වේ ය. බලන්න, මනුෂ්‍යයෝ විසිපස්දෙනෙක් දොරකඩ සිටියෝ ය. ඔවුන් අතරේ සෙනඟගේ අධිපතීන් වන අස්සුර්ගේ පුත් ජාසිනියා ද බෙනායාගේ පුත් පෙලතියා ද සිටිනු දිටිමි.
2උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ නුවර පුරා දුෂ්ටකම් යෝජනා කරන, නපුරු මන්ත්‍රණ යොදන මනුෂ්‍යයෝ මොවුහු ය. 3මොවුහු කතා කොට, ‘ගෙවල් ගොඩනඟන්න කාලය ළං වී නැද් ද? මේ නුවර කල්දේරමක් වැනි ය; අපි එහි පිසෙන මාංසය වැනි ය; එනම් අපට නුවර තුළ තරමක ආරක්ෂාව ඇතැ’යි කියති. 4එබැවින් ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න, මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියන්න.”
5එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය මා කෙරෙහි පැමිණ, මට කතා කරමින් මෙසේ වදාළ සේක: “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න: ‘අනේ ඉශ්රායෙල් වංශය, නුඹලා මෙසේ සිතන්නහු ය; නුඹලාගේ සිත්වල හටගන්න අදහස් දනිමි. 6නුඹලා මේ නුවර තුළ බොහෝ සේ මිනී මරා එහි වීදි මළකඳන්වලින් පුරවා තිබේ.
7“ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාංසය වශයෙන් හැඳින්වෙන්නේ නගරයෙහි නුඹලා විසින් බාවනු ලැබ ඇති, නුඹලා අතින් මැරුම්කනු ලැබූ අය ය; කල්දේරම වශයෙන් හැඳින්වෙන්නේ නගරය ය. එහෙත්, නුඹලා මෙයින් පිටත ගෙනෙනු ලබන්නහු ය. 8නුඹලා කඩුවට බිය ව සිටියහු ය. මම ද නුඹලා පිට කඩුව පමුණුවන්නෙමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. 9මම නුඹලා පිටතට ගෙනවුත් විදේශීන් අතට නුඹලා පාවා දී, මාගේ විනිශ්චයයන් නුඹලාට විරුද්ධ ව ඉෂ්ට කරන්නෙමි. 10නුඹලා කඩුවෙන් නසින්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි; එසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය. 11මේ නුවර නුඹලාගේ කල්දේරම නොවන්නේ ය. නුඹලා එය තුළ මාංසය ද නොවන්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි. එවිට මා ස්වාමීන් බව නුඹලා දැනගන්නහු ය. 12එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ පනත් ඉෂ්ට නොකොට, නුඹලා අවට සිටින ජාතීන්ගේ පනත් ප්‍රකාරයට ක්‍රියා කළහු ය.’ ”
13මා විසින් එසේ දිවැස් වැකි කියද්දී බෙනායාගේ පුත් පෙලතියා මැරී වැටුණේ ය. එවිට මම මුණින් වැටී, “අනේ! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් ඔබ නැත්තට ම නැතිකරන සේක් දැ”යි මහා හඬින් මොරගසා ඇසීමි.
විප්‍රවාසගත වූ අයට පොරොන්දුව
14තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 15“මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමේ සිටින අය නුඹ ගැනත්, විප්‍රවාසගත ව සිටින නුඹේ ඥාති ඉශ්රායෙල් සහෝදරයන් ගැනත් කතා කරමින්, ‘දෙවියන් වහන්සේ කෙරෙන් නුඹලා පිටුවහල් කර ඇත; උරුමයක් වශයෙන් දේශය දෙන ලද්දේ අපට යැ’යි කියති.
16“එබැවින්, ‘දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න: මා විජාතීන් අතරට ඔවුන් පලවා හැර, දුර දේශවල ඔවුන් විසිර වූ නමුත්, ඔවුන් පැමිණ සිටින ඒ දේශයන්හි මම ස්වල්ප කලකට ඔවුන් සමඟ වැඩ සිටින්නෙමි.’ 17එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ජාතීන් අතරෙන් නුඹලා එකතු කර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස් කොට ඉශ්රායෙල් රට නුඹලාට දෙන්නෙමි. 18ඔවුන් එහි පැමිණ එහි සියලු අශික්ෂිත දේ ද එහි සියලු පිළිකුල්කම් ද එතැනින් පහකරනු ඇත. 19#එසකි 36:26-28මම ඔවුන්ට ඒකමතික සිතක් දෙන්නෙමි, අලුත් ආධ්‍යාත්මික බලයක් ද නුඹලා තුළ තබන්නෙමි. 20ඔවුන් මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ නියෝග රක්ෂා කොට පවත්වන පිණිස, ඔවුන්ගේ ගල් සිත පහකොට මුදු මොළොක් සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. 21එහෙත්, තමන්ගේ අශික්ෂිතකම් ද තමන්ගේ පිළිකුල්කම් ද කෙරෙහි සිත ඇදී ගොස් ඇති අයට ඔවුන්ගේ ක්‍රියාවල විපාක විඳින්නට සලස්වන්නෙමි’ මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”
තේජෝ මහිමය අතුරුදහන් වීම
22 # එසකි 43:2-5 එකල කෙරුබ්වරු තමන්ගේ පියාපත් එසෙවුවෝ ය. රෝදත් ඔවුන් එක් ව ම තිබුණේ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ඔවුන්ට ඉහළින් තිබුණේ ය. 23සමිඳාණන් වහන්සේගේ තේජස ඉහළට නැඟී නගරයෙන් පිට වී ගොස් නැගෙනහිරින් තිබෙන කන්ද උඩ පිහිටියේ ය. 24එවිට ආත්මානුභාවය මා ඔසවා කල්දියාවෙහි විප්‍රවාසගත ව සිටින අය වෙත පැමිණෙව්වේ ය. මේ සියල්ල සිදු වූයේ දේවාත්මානුභාවය විසින් එවන ලද දර්ශනයක් මඟිනි. මෙසේ මා දුටු දර්ශනය මා වෙතින් පහ ව ගියේ ය. 25මම ද සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සියලු දේ විප්‍රවාසගත ව සිටි අයට කීවෙමි.

දැනට තෝරාගෙන ඇත:

එසකියෙල් 11: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න