නික්මයාම 3:11-22

නික්මයාම 3:11-22 SNRV

එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, “පාරාවෝ වෙත යාමටත්, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් පිටතට ගෙන ඒමටත් මම කවරෙක් දැ”යි ඇසී ය. දෙවියන් වහන්සේ උත්තර දෙමින්, “මම නුඹ සමඟ සිටිමි. මා නුඹ එවූ බව දැනගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ: එනම්, නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා විට, මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මා හට වැඳුම්පිදුම් කරන්නහු ය”යි වදාළ සේක. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, “එසේ නම් මා, ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස්, ‘නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූ සේකැ’යි කී විට, ඔවුන් ද, ‘උන් වහන්සේගේ නම කුමක් දැ’යි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කියම් දැ”යි ඇසී ය. උන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “මම වනාහි ස්වයම්භූ නම් තැනැන් වහන්සේ වෙමි. ‘ස්වයම්භූ තැනැන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි නුඹ ඉශ්රායෙල් ජනයාට කිව යුතු ය”යි වදාළ සේක. තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: “ ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.” “නුඹ ගොස් ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස් කොට, ඔවුන් අමතා, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ වන, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මට දර්ශනය වී කතා කොට, මම සැබැවින් ම ඔබ වෙත පැමිණ, මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි. එබැවින් ඔබ පීඩා විඳින මිසර දේශයෙන් මා ඔබ පිටත්කොට කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශය වන, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට ඔබ ගෙන එන්ට මම ඉටාගෙන සිටිමි’යි කියන්න. ඔව්හු ද නුඹේ හඬට සවන් දෙනු ඇත. නුඹ ද ඉශ්රායෙල්ගේ ප්‍රජා මූලිකයන් ද මිසරයේ රජු වෙත ගොස් ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට හමු වූ සේක. එබැවින් අපගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන ලෙස, තුන් දවසක ගමනක්, පාළුකරයට යන්නට අපට අවසර දෙන ලෙස අපි ඔබෙන් බැගෑපත් ව ඉල්ලමු’යි කියන්න. එහෙත් මිසරයේ රජ, තදින් බල කරනු ලැබුවොත් මිස නුඹලාට යන්නට අවසර නොදෙන බව මට සහතික ය. මම ද මාගේ බාහු බලය පා, මා එහි කරන්ට යන හාස්කම් සියල්ලෙන් මිසරයට පහර දෙන්නෙමි. ඉන්පසු ඔහු නුඹලාට යන්ට අවසර දෙනු ඇත. තවද, මම මිසර දේශ වාසීන් ඉදිරියෙහි මේ සෙනඟට අනුග්‍රහය පාන්නෙමි. එබැවින් නුඹලා පිටත් වී යන විට හිස් අතින් නොයන්නහු ය. සෑම කාන්තාවක ම තම අසල්වැසියාගෙන් ද ඇගේ ගෘහයේ නැවතී සිටින තැනැත්තියගෙන් ද රිදී හා රන් ආභරණ ද වස්ත්‍ර ද ඉල්ලා ගන්නී ය. නුඹලා ඒවා නුඹලාගේ පුත්‍රයන්ට ද දූවරුන්ට ද පැළඳවිය යුතු ය. මෙලෙස නුඹලා මිසර වාසීන්ගේ වස්තුව කොල්ල කෑ යුතු ය.”