එපීස 6:5-24
එපීස 6:5-24 SNRV
දාසයෙනි, ඔබ ක්‍රිස්තුන් වහන්සේට මෙන්, මෙලොව ඔබේ ස්වාමිවරුන්ට අවංක සිතින්, බයාදුකමින් හා ගෞරවයෙන් සේවය කරන්න. මිනිසුන් සතුටු කරන අදහසින් මූනිච්චාවට වැඩ නොකර, ක්‍රිස්තුන් වහන්සේගේ දාසයන් මෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත මුළු සිතින් ම කරන්න. මනුෂ්‍යයන්ට සේවය කරන්නාක් මෙන් නොව, සමිඳාණන් වහන්සේගේ දාසයන් මෙන් ප්‍රසන්න සිතින් සේවය කරන්න. දාසයෙක් හෝ නිර්දාසයෙක් හෝ වේවා, යමෙකු කරන යහපත් දේ අනුව දෙවියන් වහන්සේ ඔහුට විපාක දෙන බව මතක තබාගන්න. ස්වාමිවරුනි, ඔබේ දාසයන්ටත් එලෙස ම සලකා, ඔවුනට තර්ජනය කිරීමෙන් වැළකෙන්න. ඔවුන්ටත් ඇත්තේ, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, ස්වර්ගයේ සිටින එක ම ස්වාමීන් බව මතක තබාගන්න. අවසාන වශයෙන් සමිඳාණන් වහන්සේ තුළ ද උන් වහන්සේගේ ප්‍රබල ශක්තියෙහි ද බලවත් වන්න. යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධ ව සිටින්නට ඔබට පිළිවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න. මන්ද, අපගේ සටන, මිනිස් සතුරන්ට විරුද්ධ ව නොව, අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින සකල දුෂ්ට බලවේගයන්ට ද විරුද්ධ ව ය. එබැවින් නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධ ව සිටින්න පුළුවන් වන පිණිසත්, කළහැකි හැම දෙයක් ම කර, ස්ථිර ව සිටින්න පුළුවන් වන පිණිසත්, දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ ව සිටින්න. එබැවින් ස්ථිර ව ඉන්න. ඔබගේ ඉඟටිය, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න. දමිටුකම නමැති ළයවැස්ම පැළඳගන්න. සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානම් ව සිටින්න. තවද ඇදහිල්ල නමැති පලිහ ගන්න. එයින් නපුරාගේ සියලු ගිනිමය ඊතල මැඬලන්නට ඔබට හැකි වන්නේ ය. ගැළවීම නමැති හිස් වැස්ම ද ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වන දේව වචනය නමැති කඩුව ද ගන්න. සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න. සුබ අස්නේ අබිරහස ප්‍රකාශ කරන පිණිස, කතා කරන කොයි විටත්, නිර්භය ව එසේ කිරීමේ ශක්තිය මට ලැබෙන ලෙස යාච්ඤා කරන්න. සිරගත ව සිටින මම, ඒ සුබ අස්න වෙනුවෙන් තානාපතියෙක් වෙමි. ඒ ගැන යුතු ලෙස අභීත ව කතා කිරීමට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න. මාගේ සුව දුක් ගැන ද වැඩ කටයුතු ගැන ද දැනගැන්මට ඔබ ආශාවෙන් සිටිනු ඇත. අපගේ හිතවත් සහෝදරයා ද සමිඳාණන් වහන්සේ තුළ විශ්වාසවත් සේවකයා ද වූ, තුකිකස් සියලු තොරතුරු ඔබට දන්වනු ඇත. මා ඔහු ඔබ වෙතට එවන්නේ මේ සඳහා ම ය; අප ගැන ආරංචි ඔබට දෙන පිණිසත්, ඔබ ධෛර්යවත් කරන පිණිසත් ය. පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද සහෝදරයන් හට සාමයත්, ප්‍රේමයත්, ඇදහිල්ලත් වේ වා! අමරණීය ප්‍රේමයකින් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ප්‍රේම කරන සියලු දෙනාට කරුණාව වේ වා!

