එපීස 3:1-7

එපීස 3:1-7 SNRV

මේ කාරණය නිසා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හිරකාරයෙකු වන පාවුලු නම් මම, විජාතීන් වූ ඔබ උදෙසා යාච්ඤා කරමි. ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත. මා ලුහුඬින් ලියා තිබෙන ලෙස, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී. මා ලියා ඇති ඒ දේ කියවීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට තේරුම් ගත හැකි ය. ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අබිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ අපෝස්තුළුවරුනටත්, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත. ඒ අබිරහස නම්, සුබ අස්න කරණකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමඟ හවුල් උරුමක්කාරයන් ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන් ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන් ද වන බව ය. දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට, මට දෙන ලද උන් වහන්සේගේ කරුණාවේ දීමනාව ලෙස, මම ඒ සුබ අස්නේ සේවකයෙක් කරනු ලැබීමි.