එපීස 2:16-22

එපීස 2:16-22 SNRV

කුරුසිය කරණකොටගෙන උන් වහන්සේ වෛරය නැති කර, දෙවියන් වහන්සේ උදෙසා ඒ දෙජාතිය එක ම ශරීරයක් වන පිණිස සමඟි කර වදාළ සේක. එසේ උන් වහන්සේ වැඩම කර, දුර සිටියා වූ ඔබටත්, ළඟ සිටියා වූ අයටත්, සාමයේ පණිවුඩය දේශනා කර වදාළ සේක. එක ම ආත්මයාණන් වහන්සේ තුළ, ජුදෙව්වරුන් හා විජාතීන් යන දෙපක්ෂයට, පියාණන් වහන්සේ වෙතට පිවිසීමේ වරය ලැබිය හැක්කේ, ක්‍රිස්තුන් වහන්සේ නිසා ය. එබැවින් ඔබ තවත් විදේශිකයෝ වත්, ආගන්තුකයෝ වත් නොව, ශුද්ධ වන්තයන් සමඟ සහකාර පුරවැසියෝ ද දෙවියන් වහන්සේගේ පවුලේ දූදරුවෝ ද වෙති. ඔබ අපෝස්තුළුවරුන්ගේ ද, දිවැසිවරයන්ගේ ද අත්තිවාරම පිට ඉදි කරනු ලැබ සිටින්නහු ය. එහි කොණේ ප්‍රධාන ගල නම් ක්‍රිස්තුන් වහන්සේ ම ය. උන් වහන්සේ තුළ මුළු ගොඩනැඟිල්ල ඒකාබද්ධ ව, සමිඳාණන් වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක් සේ වර්ධනය වන්නේ ය. උන් වහන්සේ තුළ ඔබත්, ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක් කොට ගොඩනඟනු ලැබේ.