කොලොස්සි 3:7-14

කොලොස්සි 3:7-14 SNRV

ඔබත් එක් කාලයක දී ඔවුන් මෙන් මේ දුසිරිත්වල ඇලීගැලී ජීවත් වූවහු ය. එහෙත් දැන් ඔබ ඒ සියල්ල, එනම්, උදහස, කෝපය, කුඩුකේඩුකම, අපවාදය, අසභ්‍ය කතා මුලිනුපුටා දමන්න. එකිනෙකාට බොරු නොකියන්න. මන්ද ඔබ පරණ ස්වභාවය එහි දුසිරිත් සමඟ ඉවත ලා, අලුත් ස්වභාවයකින් සැරසී සිටින්නහු ය. දෙවියන් වහන්සේ පිළිබඳ සම්පූර්ණ දැනගැන්මට ඔබ පමුණුවන පිණිස, ඒ අලුත් ස්වභාවය එහි මැවුම්කාරයාණන්ගේ රූපය අනුව උන් වහන්සේ නිරන්තරයෙන් අලුත් කරන සේක. ඒ අලුත් ජීවිතයෙහි ග්‍රීක ජුදෙව් කියා වත්, චර්මඡේදිත අචර්මඡේදිත කියා වත්, ම්ලේච්ඡ ශිෂ්ට කියා වත්, දාස නිර්දාස කියා වත් භේදයක් නැත. ඇත්තේ සියල්ලන් තුළ, සියල්ල වන, ක්‍රිස්තුන් වහන්සේ පමණෙකි. එබැවින් දෙවියන් වහන්සේගේ තෝරාගත්, සැදැහැවත්, ප්‍රේමවන්ත අය වශයෙන්, දයානුකම්පාවෙන් ද කරුණාවෙන් ද නිහතමානිකමෙන් ද මෘදුකමෙන් ද ඉවසිලිවන්තකමෙන් ද සැරසී සිටින්න. එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධ ව පැමිණිල්ලක් ඇත්නම්, එකිනෙකාට කමා කරන්න. සමිඳාණන් වහන්සේ ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කළ යුතු ය. මේ සියල්ලට ඉහළින්, සියල්ල සම්පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමයෙන් සැරසෙන්න.