කොලොස්සි 2:2-9

කොලොස්සි 2:2-9 SNRV

මා එසේ කරන්නේ ඔවුන්ගේ සිත් ධෛර්යවත් වන පිණිසත්, ඔවුන් ප්‍රේමයෙන් එකට බැඳී සිටින පිණිසත්, අවබෝධයෙන් ඇති වන සම්පූර්ණ සහතිකකමේ සම්පත උරුම කරගෙන, දෙවියන් වහන්සේගේ රහස තේරුම්ගන්නා පිණිසත් ය. ඒ රහස ක්‍රිස්තුන් වහන්සේ ම ය. උන් වහන්සේ තුළ ප්‍රඥාවේත් දැනගැන්මේත් සකල ධන සම්භාරය නිදන් වී ඇත. මා මෙසේ කියන්නේ කිසිවකුගේ බොරු චාටුවලින් ඔබ මුළා නොවන පිණිස ය. මම ශරීරාකාරයෙන් ඈත් ව සිටින නමුත්, ආධ්‍යාත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනයානුකූල හැසිරීමත්, ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථීරකමත් දැක ප්‍රීති වෙමි. එබැවින් ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන් වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න. උන් වහන්සේ තුළ මුල් ඇදගන්න පරිදි ස්ථීර ව සිටින්න; උන් වහන්සේ මත ඔබේ ජීවිත නිර්මාණය කරගන්න; ඔබට උගන්වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. බෙහෙවින් තුති පුදන්න. ක්‍රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්‍රදායයන් හා ලෝක භූතාධිපතීන් පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න. මන්ද, ක්‍රිස්තුන් වහන්සේ තුළ, උන් වහන්සේගේ මිනිස් බවෙහි ම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි.