කොලොස්සි 1:21-29

කොලොස්සි 1:21-29 SNRV

පසුගිය කාලයේ දී ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටියහු ය. ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ උන් වහන්සේට සිතින් සතුරු ව සිටියහු ය. එහෙත් දැන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය කරණකොටගෙන තමන් හට ඔබ සමඟි කරගත් සේක. එසේ කෙළේ ඔබ ශුද්ධ, නොකැළැල්, නිදොස් අය හැටියට දැන් උන් වහන්සේ ඉදිරියට පමුණුවාගැනීම සඳහා ය. එය ඉටු වීමට නම්, ඔබ ඇදහිල්ලේ නිරත ව සිටිමින්, සුබ අස්නේ බලාපොරොත්තුවෙන් පිට නොගොස්, එය පදනම් කොටගෙන ස්ථීර ව පැවතිය යුතු ය. ඔබ ඇසූ සුබ අස්න අහසින් යට සැමදෙනට ම ප්‍රකාශ කර ඇත. පාවුලු නම් මම ඒ සුබ අස්නේ සේවකයෙක් වීමි. ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි. මේ සභාවේ සේවකයෙකු වශයෙන් දෙවියන් වහන්සේ මා පත් කර, ඔබේ යහපත උදෙසා මට වගකීමක් භාර දුන් සේක. ඒ වගකීම නම්, දෙවියන් වහන්සේගේ පණිවුඩය සම්පූර්ණයෙන් ප්‍රකාශ කිරීම ය. ඒ පණිවුඩය, යුග හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසක් ව සැඟවී තිබී, දැන් උන් වහන්සේ සැදැහැවතුන් හට එය අනාවරණය කර ඇත. ඔවුන් හට එය අනාවරණය කරන ලද්දේ ඒ රහසේ තේජාන්විත සම්පත කුමක් දැ යි සකල ජාතීන්ට දන්වනු පිණිස ය. ඒ රහස නම්, ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවිසීම ය. උන් වහන්සේ ඔබේ තේජාන්විත බලාපොරොත්තුව වන සේක. අප ඒ ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ සියලු දෙනා ම පරිණත කිතුනුවන් වන පිණිස ය. ඒ සඳහා සියලු දෙනාට දැනමුතුකම් දෙමින් සියලු ආකාර ප්‍රඥාවෙන් අනුශාසනා කරමු. මේ සඳහා, මා තුළ බලවත් සේ ක්‍රියා කරන ක්‍රිස්තුන් වහන්සේගේ බල මහිමයේ ප්‍රකාරයට දිරි දරමින් වීර්ය කරමි.