කොලොස්සි 1:1-10

කොලොස්සි 1:1-10 SNRV

දේව කැමැත්ත අනුව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරයෙකු වන පාවුලු ද සහෝදර තිමෝතියස් ද යන අපි, කොලොස්සියේ සිටින, ක්‍රිස්තියානි ඇදහිලිවන්ත සහෝදර සැදැහැවතුන් වෙත ලියා එවමු. අප පියාණන් වන දෙවියන් වහන්සේගෙන් කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා! අපගේ යාච්ඤාවල දී, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට, අපි ඔබ උදෙසා නොකඩව තුති දෙමු. මන්ද, ඔබගේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ලත්, සියලු සැදැහැවතුන් කෙරෙහි පවත්නා ඔබේ ප්‍රේමයත් ගැන අප අසා ඇති බැවිනි. ඒ දෙකට හේතු වූ ඔබගේ ස්වර්ගීය බලාපොරොත්තුව ගැන පළමුවෙන් ඔබට අසන්නට ලැබුණේ, සත්‍ය සුබ අස්නේ දහම් පණිවුඩය ඔබ වෙත පැමිණි විට ය. ඔබ වෙතට මෙන් ම මුළු ලෝකය වෙතට ද ඒ සුබ අස්න පැමිණ තිබේ. තවද, ඔබ එය අසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසි පරිදි අවබෝධ කරගත් දා පටන්, එය ඔබ අතර පල දරා, වර්ධනය වූවාක් මෙන්, ලොව පුරා එය පල දරමින් වර්ධනය වන්නේ ය. අපගේ ප්‍රේමවන්ත හවුල් දාසයෙකු ද ක්‍රිස්තුන් වහන්සේගේ විශ්වාසවන්ත සේවකයෙකු ද වන එපප්‍රස් අප වෙනුවෙන් ඒ සුබ අස්න ඔබට ඉගැන්වී ය. ආත්මයාණන්ගෙන් වූ ඔබේ ප්‍රේමය ගැන අපට සැළ කෙළෙත් ඔහු ය. මේ කරුණ නිසා, අපි එය ඇසූ දා පටන් ඔබ ගැන නොකඩව යාච්ඤා කෙළෙමු. සියලු ආකාර ප්‍රඥාව ද ලොව්තුරා ඥානය ද ලබා, ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ ලෙස අවබෝධ කරගෙන, සමිඳාණන් වහන්සේට ඔබින ලෙසත්, ප්‍රිය මනාප වන ලෙසත් හැසිරෙන මෙන් යාච්ඤා කරමු. සියලු ආකාර යහපත් ක්‍රියාවලින් පලදායි වන මෙන් ද දෙවියන් වහන්සේ දැනගැන්මෙහි වැඩි වර්ධනය වන මෙන් ද යාච්ඤා කරමු.

කොලොස්සි 1:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය