බාරුක් 4

4
1දෙවිඳුන්ගේ නීති පොත මෙය වේ;
සදා පවතින නීතිය මෙය වේ.
එය පිළිපදින්නෝ ජීවත් වෙති; එය අත්හරින්නෝ මියයති.
2එම්බා ජාකොබ්ගේ පරපුර, ආපසු හැරී එන්න.
එය හිමි කරගන්න;
එයින් බැබළි බැබළී ආලෝකයට යන්න.
3ඔබේ මහිමය අන් කෙනෙකුට නොදෙන්න;
ඔබේ ම නොවන සෙනඟකට ඔබට හිමි වරම නොදෙන්න.
4ඉශ්රායෙල් ජනයෙනි, අපි ආසිරි ලද්දෙමු.
දෙවිඳාණන් කැමැති දේ අපට පවසා ඇත.
ජෙරුසලමේ වැසියන්ගේ පැතුම්
5මාගේ සෙනඟෙනි, දිරි වඩන්න.
ඔබ ඉශ්රායෙල් නාමය පණගන්වන අය වන්නහු ය.
6විජාතීන්ට ඔබ විකුණනු ලැබුවහු ය;
එහෙත්, එය ඔබේ වැනසීමට නොවේ.
ඔබ දෙවිඳුන් ප්‍රකෝප කළහු ය;
එබැවින්, හතුරන් අතට පාවා දෙනු ලැබුවහු ය.
7දෙවිඳුන්ට නොව යකුන්ට පඬුරු පිදීමෙන් ඔබ මැවුම්කරුවාණන් ප්‍රකෝප කළහු ය.
8ඔබ තමන් ඇතිදැඩි කළ;
සදාතන දෙවිඳුන් අමතක කළහු ය;
ඔබට කිරි දුන් ජෙරුසලම් නගරයට ඔබ දුක් දුන්නහු ය.
9දේව උදහස ඔබ පිට වැටෙන විට, ඇය කතා කොට මෙසේ කීවා ය:
සියොන් අසල්වැසියෙනි, සවන් දෙන්න.
දෙවිඳාණෝ මහ දුකක් මා වෙත එවූ සේක.
10සදාතන තැනැන් වහන්සේගේ තීන්දුව පරිදි වහල්කමට ගිය මාගේ දූදරුවන් මම දුටිමි.
11මම ඔවුන් ප්‍රීතියෙන් ඇතිදැඩි කෙළෙමි.
දුකින් කඳුළු හෙළමින් ඔවුන් යන රඟ බලා සිටියෙමි.
12ඔබෙන් කිසිවෙක් මා ගැන ප්‍රීති නොවන්න.
මම බොහෝ අය විසින් අහකදමනු ලැබූ වැන්දඹුවක්මි;
දේව නීතියෙන් අහක ගිය මාගේ ම දරුවන්ගේ පව් නිසා මම හුදකලා ව දුක් වෙමි.
13එතුමාණන්ගේ නියමයන් දැනගැන්ම ඔවුන්ට නුවුවමනා විය.
එතුමාණන්ගේ පනත් මඟ යාමට ඔව්හු අකමැති වූ හ;
එතුමාණන්ගේ සාධාරණකම අනුව විනය මඟ යෑම ඔව්හු නොරිස්සුවෝ ය.
14සියොන්හි අසල්වැසියෙනි, මෙහි පැමිණෙන්න;
සදාතන තැනැන් වහන්සේ ඔවුන්ට නියම කළ, මාගේ දූදරුවන්ගේ වහල්කම මම ඔබට සිහි කරවමි.
15විදෙස් බසක් දොඩන, මහල්ලාට ගරුසරු නොකරන, දරුවාට කරුණාව නොදක්වන, කුරිරු ජාතියක් ඈත සිටි ජාතියක් ඔවුන් වෙත පැමිණෙවු හැටි සිහි කරමි.
16ඔව්හු වැන්දඹුවගේ ආදර දරුවන් අල්ලාගෙන ගියහ;
දූවරුන්ගෙන් වියෝ කොට, හුදකලා ව ඇය තැබුවා ය.
17මම කෙසේ නම් ඔබට සරණ වෙම් ද?
18ඔබ වෙත මේ විපත් පැමිණෙවු තැනැත්තා ම සතුරන් අතින් ඔබ ගැළවිය යුතු ය.
19මාගේ දරුවෙනි, යන්න, කැමැති දෙසක යන්න.
මම නම්, තනි ව වියෝ ව සිටිමි.
20සාම කාලයේ ඇඳුම් මම ඉවත ලමි;
යැදීමේ ගෝනි රෙදි ද ඇඳගතිමි;
දිවි ඇති තෙක් සදාතනිකයාණන්ට හඬගසමි.
21මාගේ දරුවෙනි, දිරිමත් ව දෙවිඳුන් යදින්න;
කෲර පාලනයෙන්, සතුරන් අතින් එතුමා ඔබ ගළවනු ඇත.
22ඔබේ ගැළවීම පතා මම සදාතනිකයාණන් දෙස බලමි.
ඔබේ ගැළවුම්කාර සදාතනිකයාණන්ගෙන් ඔබට විගස ලැබෙන දයාව ගැන සුවිශුද්ධ තැනැන් වහන්සේගෙන් මට ප්‍රීතිය ලැබිණි.
23දුකින් කඳුළු හෙළමින් මම ඔබ අහකට ගිය රඟ බලා සිටියෙමි.
එහෙත්, දෙවිඳුන් සදා ප්‍රීති සන්තෝෂයෙන් ඔබ මට ආපසු දෙනු ඇත.
24සියොන් අසල්වැසියන් දැන් ඔබේ වහල්කම දකින්නා සේ ම සදාතනිකයාණන්ගේ මහා තෙදබල මහිමයෙන් එතුමන් මැදහත් ව, ඒ දෙවිඳුන් ඔබ ගළවන අයුරු ද ඔව්හු විගස දකින්නෝ ය.
25මාගේ දරුවෙනි, ඔබ ගැන ඇති දෙවිඳුන්ගේ උදහස ගැන ඉවසිලිමත් වන්න.
ඔබේ සතුරෝ ඔබට පීඩා කළෝ ය.
එහෙත්, ඔබ විගස ඔවුන්ගේ විනාශය දැක ඔවුන්ගේ ගෙල පාගාදමන්නහු ය.
26ආක්‍රමණික සතුරන් බැටළු රැළක් පැහැරගෙන යද්දී මෙන් මාගේ ප්‍රියතම දරුවන් කටුක මාවත්හි ගමන් කර ඇත.
27මාගේ දරුවෙනි, දිරිමත් වන්න, දෙවිඳුන් අයැදින්න, ඔබට විපත් එවූ එතුමා ඔබ සිහි කරනු ඇත.
28ඔබේ කැමැත්තෙන් ම ඔබ දෙවිඳුන්ගෙන් ඈත් වී ගිය ලෙස දැන් ඉතින් ආපසු හැරී බොහෝ වැර වඩා එතුමන් සොයන්න.
29මන්ද, එතුමන් ඔබට විපත් පැමිණෙවු සේ ම ඔබ මුදා සදා සතුට ඔබට දෙනු ඇත.
30ජෙරුසලම් වැසියෙනි, දිරි වඩන්න.
ඔබට ඒ නම දුන් එතුමා ඔබ සනසනු ඇත.
31ඔබට හිංසා කළ අයට ඔබේ වැටිම ගැන ප්‍රීති වූ අයට විපත් පැමිණෙනු ඇත.
32ඔබේ දරුවන් වහලුන් මෙන් සිටි නගරවලට විපත් පැමිණෙනු ඇත.
ඔබේ දරුවන් පිළිගත් නගරවලට විපත් පැමිණෙනු ඇත.
33ඇය ඔබේ වැටීම ගැන ප්‍රීති ප්‍රමෝද වී ඔබේ විනාශය ගැන සතුටුවූවා සේ ම ඇගේ පාළුකම ගැන ඇය දුක් වනු ඇත.
34ජනාකීර්ණ නගරවලට ඇති ප්‍රීතිය මම ඇයට නොදෙමි.
ඇගේ පාරට්ටුව විලාපයට හැරෙනු ඇත.
35සදාතනිකයාණන්ගෙන් එන ගින්න බොහෝ දිනක් ඇය දවනු ඇත.
යුගයෙන් යුගයට යම දූතයන් එහි වසනු ඇත.
36ජෙරුසලම් නගරය, පෙරදිග බලන්න, දෙවිඳුන්ගෙන් එන ප්‍රීතිය නරඹන්න.
37යන්න ගිය පුත්‍රයා දැන් ගෙදර බලා එන රඟ නරඹන්න.
පෙර අපර දෙදිගින් ඔව්හු එකතු වී ගෙදර බලා එන්නෝ ය.
සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නියමය අනුව දේව මහිමාලංකාරයෙන් කුල්මත් වී ඔව්හු ආපසු එන්නාහ.

දැනට තෝරාගෙන ඇත:

බාරුක් 4: SNRV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න