ක්‍රියා 7:1-6
ක්‍රියා 7:1-6 SNRV
එවිට උත්තම පූජකයා, “මේ ඇත්ත දැ”යි ඇසී ය. ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: “සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී, ‘ඔබේ රටින් ද ඥාතීන්ගෙන් ද වෙන් වී මා ඔබට පෙන්වන දේශයට එන්නැ’යි වදාළ සේක. එවිට ඔහු කල්දීයයන්ගේ දේශයෙන් නික්ම ගොස් හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ ඇවෑමෙන් දෙවියන් වහන්සේ ඔහු එතැනින් ඉවත් කොට ඔබ දැන් වසන මේ දේශයට ගෙනා සේක; එහි අඩියක් පමණ වත් උරුමයක් ඔහුට නුදුන් සේක. එහෙත්, එවකට ඔහුට දරුවෙකු නොසිටි නමුත්, මේ දේශය ඔහුට ද ඔහුගේ දරු පරම්පරාවට ද උරුම කර දීමට පොරොන්දු වූ සේක. දෙවියන් වහන්සේ වදාළ දේ නම් මේ ය: ‘ඔහුගේ දරු පරම්පරාව අන්‍ය දේශයක ආගන්තුකයන් ව සිටිනවා ඇත. ඒ දේශවාසීන් ඔවුන් වහල්කමට ගෙන අවුරුදු හාර සියයක් මුළුල්ලේ ඔවුන්ට පීඩා කරනු ඇත.

