ක්‍රියා 4:8-22
ක්‍රියා 4:8-22 SNRV
එවිට පේදුරු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව ඔවුන් අමතා මෙසේ කී ය: “ප්‍රධානියෙනි, ප්‍රජා මූලිකයෙනි, කොර මිනිසෙකුට කරන ලද කාරුණික ක්‍රියාව ගැන හා ඔහු සුවපත් කරන ලද්දේ කෙසේ ද යන්න ගැන හා අද අපි විමසනු ලබමු නම්, එයට අපේ පිළිතුර මෙසේ ය: ඔබ විසින් කුරුසියේ ඇණ ගසන ලද්දා වූ ද දෙවියන් වහන්සේ විසින් උත්ථාන කරන ලද්දා වූ ද නාසරෙත්හි ජේසුස් වහන්සේගේ අනුහසින් ඔබ ඉදිරියේ මේ මිනිසා සුව සම්පන්න ව සිටියි. ඒ බව ඔබ සියලු දෙනාත්, මුළු ඉශ්රායෙල් ජනයාත් දැන ගනිත් වා. උන් වහන්සේ වනාහි ‘ගෘහ ශිල්පීන් වන ඔබ විසින් ප්‍රතික්ෂේප කරන ලද ගල ය. එහෙත් උන් වහන්සේ ම ප්‍රධාන ගල වූ සේක.’ අන් කිසිවෙකු මඟින් ගැළවීමක් නැත; මන්ද, අපේ ගැළවීම සලසා දෙන ලද අන් කිසි නාමයක් මුළු ලොවෙහි ම මිනිසුන් අතර නැත.” උගත්කමක් නැති සාමාන්‍ය මිනිසුන් වශයෙන් සිටි පේදුරුගේ ද ජොහන්ගේ ද නිර්භීතකම දුටු ඔව්හු මවිත වූ හ. ඔවුන් ජේසුස් වහන්සේ ඇසුරෙහි සිටියවුන් බව ද පෙනී ගියේ ය. සුවපත් කරනු ලැබූ මිනිසා ඔවුන් සමඟ සිටි බැවින්, ඒ දෙදෙනාට විරුද්ධ ව කිසිවක් කියන්නට ඔවුන්ට නොහැකි විය. එබැවින් මන්ත්‍රණ සභාවෙන් බැහැර යන්නට ඔවුන්ට අණ කර, ඔව්හු තම තමන් අතර සාකච්ඡා කරමින් මෙසේ කී හ: “අපි මේ මිනිසුන්ට කුමක් කරමු ද? ඔවුන් විසින් විශිෂ්ඨ, අරුමපුදුම දෙයක් කරන ලද බව ජෙරුසලමෙහි සියලු වැසියන්ට පෙනී ගොස් ඇත. එවැන්නක් නැතැ යි කියන්නට අපට නොහැකි ය. එබැවින්, ජනයා අතර එය තවදුරටත් පතළ නොවන පිණිස මින්පසු මේ නාමයෙන් කිසි ම කෙනෙකුට කතා නොකරන මෙන් අපි ඔවුන්ට තර්ජනය කරමු.” ඉන්පසු ඔව්හු ඔවුන් කැඳවා ජේසුස් වහන්සේගේ නාමයෙන් කොහෙත් ම කතා නොකරන මෙන් ද නූගන්වන මෙන් ද ඔවුන්ට අණ කළහ. එහෙත් පේදුරු ද ජොහන් ද පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම හරි දැ යි, දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ම විනිශ්චය කරගන්න. මන්ද, අප ඇසූ දුටු දේ ගැන කතා නොකර සිටින්නට අපට නොහැකි ම ය”යි කී හ. ඔව්හු ඔවුන්ට තවදුරටත් තර්ජනය කොට නිදහස් කර යන්නට හැරියෝ ය. සිදු වූ දේ ගැන සියලු දෙනා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ බැවින්, ජනයා නිසා ඒ දෙදෙනාට දඬුවම් කිරීමට ඔවුන්ට මඟක් නො වී ය. පුදුම ලෙස සුවපත් කරනු ලැබූ මේ මිනිසා අවුරුදු සතළිසක් ඉක්මවූවෙකි.

