ක්‍රියා 3:2-11

ක්‍රියා 3:2-11 SNRV

උපන් දා පටන් කොර ව සිටි එක්තරා මිනිසෙක් විය. දේව මාලිගාවට ඇතුළු වන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස, දේව මාලිගාවේ ‘සුදර්ශන’ නම් ලත් දොරටුව ළඟ දිනපතා ඔහු තබන ලදී. ඔහු පේදුරු සහ ජොහන් දේව මාලිගාවට ඇතුළුවන්නට යන බව දැක සිඟමන් ඉල්ලී ය. පේදුරු ජොහන් සමඟ ඔහු දෙස නෙත් යොමා, “අප දෙස බලන්නැ”යි කී ය. ඔහු ද ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස ඕනෑකමින් බැලී ය. එවිට පේදුරු, “රන් වත් රිදී වත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි; නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැ”යි කී ය. එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය. ඔහු උඩ පැන කෙළින් සිට ඇවිදින්නට විය. තවද, ඇවිදිමින් ද, උඩ පනිමින් ද, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ද ඔහු ඔවුන් සමඟ දේව මාලිගාවට ඇතුළු විය. ඔහු ඇවිදිනවාත්, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවාත් සියලු දෙනා දුටුවෝ ය. දේව මාලිගාවේ ‘සුදර්ශන’ දොරටුව ළඟ හිඳගෙන සිඟමන් ඉල්ලුවේ මේ මිනිසා බව හඳුනා ගත් ඔව්හු ඔහුට සිදුවූ දේ ගැන පුදුමයෙන් පුදුමයට පත් වූ හ. පේදුරු සහ ජොහන් ඔහුගේ අතින් අල්ලාගෙන සලමොන්ගේ සක්මන් මළුවෙහි සිටිනු දුටු සමූහයා අතිශයින් පුදුම වී ඔවුන් වෙතට දිවූ හ.