ක්‍රියා 28:1-6

ක්‍රියා 28:1-6 SNRV

මෙසේ ගැළවී ගොඩට පැමිණි කල ඒ ද්වීපයේ නම මෝල්ටාව යයි දැනගතිමු. දිවයිනේ වැසියෝ අපට බොහෝ කරුණාව දැක්වූ හ. වහින වැස්ස හා ශීතලය නිසා ඔව්හු ගිනිමැලයක් ගසා අප සියල්ලන් පිළිගත්හ. පාවුලු දර මිටියක් එකතු කර ගින්නෙහි ලූ කල ගිනි රස්නයට සර්පයෙක් එයින් පිට වී අවුත් ඔහුගේ අතේ එල්ලුණේ ය. ඒ සතා ඔහුගේ අතේ එල්ලී සිටිනවා දුටු රටවැසියෝ “ඒකාන්තයෙන් මේ මනුෂ්‍යයා මිනීමරුවෙකි, ඔහු මුහුදෙන් ගැළවුණ නමුත් ඔහුට ජීවත් වන්නට දෛවය ඉඩ නොහරී”යි කියා කතා කරගත්හ. එහෙත් ඔහු ඒ සතා ගින්නට ගසා දමා කිසි හානියක් නැතිව සිටියේ ය. ඔහු ඉදිමෙනු ඇතැ යි නොහොත් හදිසියෙන් මැරී වැටෙනු ඇතැ යි ඔව්හු බලා සිටියහ. බොහෝ වේලා බලා සිට, ඔහුට කිසි අනතුරක් නොවන බව දුටු කල, ඔව්හු සිය කල්පනාව වෙනස් කොට, “ඔහු දෙවි කෙනෙකැ”යි කී හ.

මෙයට අදාළ වීඩියෝ